සමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුව
July 12, 2026 03:45 pm
මදුරුවන් අපේ සිරුරට දෂ්ට කිරීමට බොහෝ වෙලාවකට පෙර සිටම, ඈත තියාම අපගේ සිරුරෙන් නිකුත් වන සංඥා හඳුනාගැනීමේ හැකියාව මදුරුවන් සතු බව විද්‍යාඥයින් පවසයි.
ඇතැම් පුද්ගලයන් මදුරුවන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්වන්නේ ඇයිද යන්න පිළිබඳව විද්‍යාඥයන් විසින් කරුණු අනාවරණය කරගෙන තිබේ.
"මගේ ලේ රස ඇති, ඒකයි මදුරුවන් මට විදින්නේ" කියා ඔබත් සිතනවා ඇති. නමුත් සැබෑ හේතුව වන්නේ අපගේ සිරුරෙන් පිටවන හුස්ම සහ සිරුරේ ගඳ/සුවඳ ඇතුළු විවිධ ජීව විද්‍යාත්මක සලකුණු මදුරුවන්ව තදින්ම ආකර්ෂණය කරගැනීමයි.
1. කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව
මිනිසුන්ට විදින්නේ ගැහැණු මදුරුවන් පමණි. ඒ ඔවුන්ගේ බිත්තර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීමටය. මීටර් 10ක් පමණ ඈත සිටම අපගේ හුස්මෙන් සහ සමෙන් පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට මදුරුවන්ට හැකියාවක් පවතින බව වාර්තා වේ.
වැඩිහිටියන් ළමයින්ට වඩා වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පිට කරන බැවින් මදුරුවන් වැඩිහිටියන්ට ආකර්ෂණය වීමේ ප්‍රවණතාව වැඩි බව සඳහන් වේ.
2. ශරීරයේ තාපය සහ දහඩිය
මදුරුවන් ශරීරයේ උණුසුමට සහ තෙතමනයට බෙහෙවින් ප්‍රිය කරන සඳහන් වේ. මේ හේතුව නිසා ගර්භණී කාන්තාවන් වෙත මදුරුවන් ආකර්ෂණය වීමේ ඉඩකඩ සාමාන්‍ය කාන්තාවන්ට වඩා දෙගුණයකින් වැඩි බව පැවසේ.
එමෙන්ම ව්‍යායාම කිරීමෙන් පසු ශරීරය උණුසුම් වී දහඩිය දමන විට සහ විශාල සිරුරක් ඇති පුද්ගලයන්ගෙන් වැඩිපුර තාපය සහ CO2 පිටවන විට මදුරුවන් වැඩිපුර ආකර්ෂණය වේ.
3. සමේ ඇති සුවඳ සහ බැක්ටීරියා
අපේ සම මතුපිට ඇති බැක්ටීරියා මඟින් දහඩිය සහ අනෙකුත් ද්‍රව්‍ය බිඳහෙලීමේදී වාෂ්පශීලී කාබනික සංයෝග නිපදවයි. අපේ සමේ මෙවැනි සංයෝග 500කට වඩා තිබේ.
විශේෂයෙන්ම සමේ ලැක්ටික් අම්ලය සහ කාබොක්සිලික් අම්ලය වැඩිපුර ඇති පුද්ගලයන් වෙත මදුරුවන් 100 ගුණයකින් පමණ වැඩිපුර ආකර්ෂණය වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. මෙය බොහෝ දුරට ජානමය වශයෙන් උරුම වන අතර වෙනස් නොවන තත්ත්වයකි.
මදුරු දෂ්ටනයෙන් බේරෙන්නේ කෙසේද?
සුදුළූණු ආහාරයට ගැනීම හෝ විටමින් B පෙති ගැනීමෙන් මදුරුවන් පලවා හැරිය හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙදර් ෆර්ගියුසන් පවසයි.
ඇය නිර්දේශ කරන්නේ,
පිළිගත් මදුරු විකර්ෂක හෝ මදුරු විකර්ෂක අලේපන භාවිත කිරීමය.
සිරුර හොඳින් වැසෙන සේ දිග අත් සහිත ඇඳුම් සහ දිග කලිසම් ඇඳීම.
දහඩිය දැමීමේදී මදුරු විකර්ෂක අලේපන දිය වී යන බැවින්, නියමිත වේලාවට නැවත ඒවා ආලේප කිරීම.
ඇතැම් පුද්ගලයන්ට මදුරුවන් විද්දත් ඔවුන්ට විශාල ලෙස කසන්නේ හෝ පලු දමන්නේ නැත. නමුත් තවත් සමහරුන්ට විශාල ලෙස පලු දමා සති ගණනාවක් කැසීම පවතී. මෙය තීරණය වන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්වභාවය අනුවය.



