සෞඛ්‍ය ඇමති සහ GMOA නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක්

සෞඛ්‍ය ඇමති සහ GMOA නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක්

July 12, 2026   01:36 pm

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව නිලධාරී මණ්ඩලයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සහ නව ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා ඇතුළු විධායක සභාවේ නිලධාරී මණ්ඩලය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී  සිය සුභපැතුම් එක් කළේය. 

මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සැලසුම්සහගත වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙහිදී වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව දෙපාර්ශවයේම දීර්ඝ අවධානයක් යොමු ව ඇති අතර ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන අභියෝග පිළිබඳවද සාකච්ඡා කෙරිණි. 

මේ අතර, මෙරට ඩෙංගු මදුරු මර්ධන කටයුතු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා ඇතුළත් විශේෂ වාර්තාවක්ද සංගමයේ ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.