සාම කතා අර්බුදයකට යවමින් යළි ඇවිලෙන මැදපෙරදිග යුද ගැටුම
July 12, 2026 12:31 pm
එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති සාම සාකච්ඡා නැවතත් අර්බුදයකට ලක් කරමින් මැදපෙරදිග යුද උණුසුම යළිත් වර්දනය වී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ඉරානයට මෙම සතිය තුළ තුන්වරක් ප්‍රහාර එල්ල කර ඇති අතර මීට පළි ගැනීමේ ක්‍රියාවක් ලෙස ඉරානය කලාපයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමද ආරම්භ කළේය.
පවතින තත්ත්වයන් තුළ සයිප්‍රස් ධජය සහිත බහාලුම් නෞකාවකට ඉරානය පහර දී තිබේ.
ප්‍රහාර සම්බන්ධව අදහස් දක්වමින් ඉරානය සඳහන් කර ඇත්තේ ඉරානයේ අනුමත මුහුදු මාර්ගයෙන් ඉවත්ව ගමන්කරමින් සිටි බැවින් නෞකාවට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට පියවර ගත් බවය.
ඒ සමගම හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට ඉරානය පියවර ගනු ලැබීය.
නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු මධ්‍යම විධානය X සටහනක් මගින් දක්වා ඇත්තේ නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් එහි එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති බවත්, එක් සිවිල් නාවිකයෙකු අතුරුදන්ව ඇති බවය.
කෙසේ වෙතත් ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ඉරාන ප්‍රහාරයට ලක්වූ බහාලුම් නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වන විට මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස අමෙරිකානු මධ්‍යම විධානය ඉරානයට ප්‍රහාර එල්ලකර ඇත්තේ මෙම සතිය තුළ අමෙරිකාවෙන් ඉරානයට එල්ල වූ තුන්වැනි ප්‍රහාරය ලෙසය.
ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එක්සත් ජනපදය සඳහන් කර ඇත්තේ ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන යානා සහ නාවික යාත්‍රා භාවිතයෙන් ඉරාන හමුදා ඉලක්ක 140 කට ආසන්න සංඛ්‍යාවකට පහර දුන් බවය.
මෙම ඉලක්ක අතරට ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ගබඩා, උණ්ඩ ගබඩා, සන්නිවේදන ජාල සහ වෙරළබඩ නිරීක්ෂණ ස්ථාන ඇතුළත් බවත් වාර්තා වේ.
මේ අතර හෝමූස් සමුද්‍රසන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ තවත් නෞකාවකට ප්‍රහාර එල්ල කර එහි ගමන නැවැත්වූ බවත්, මෙම තත්වය ඉදිරියට පැවතුණොත් ප්‍රතිචාර තවත් දරුණු විය හැකි බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර තිබේ.
යුද උණුසුම නැවත වර්ධනය වෙද්දි කලාපයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය ප්‍රහාර දියත් කර ඇති අතර, ඕමානය, ජෝර්දානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරමින් ඉරානයද ප්‍රහාර දියත් කර තිබේ.
මේ අතර පවතින යුද උණුසුම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පවසා ඇත්තේ එක්සත් ජනපදය සටන් විරාම ගිවිසුම් උල්ලංගණය කර ඇති බවය.
ඉරානය පවසා ඇත්තේ එක්සත් ජනපදය අවබෝධතා ගිවිසුමේ නියමයන්ට අනුකූල විය යුතු බවය.
පසුගිය ජුනි 16 වැනිදා ඉරානය සහ එක්සත් ජනපදය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ නියමයන්ට අනුකූලව කටයුතු කරන ලෙසද හෝමූස් සමුද්‍ර සන්ධියේ සිටින ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ස්ථීරවම ආරක්ෂා කිරීමට ඉරාන සන්නද්ධ හමුදා කටයුතු කරන බවත් ඉරානය සඳහන් කර තිබේ.
මේ සම්බන්ධව ඉරානයේ ඉහළම සාකච්ඡාකරු වන මොහොමඩ් මාගර් ගලීබාෆ් විසින් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වීය ගනුදෙනු යුගය අවසන් බවය.
මේ අතර පවතින තත්ත්වයන් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව ඕමානයයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉරානය සහ ඕමානය අතර ඕමානයේ මස්කට්හී පවත්වා ඇති මෙම සාකච්ඡාව සඳහා කටාර් රාජ්‍යයද එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.
මේ අතර වාර්තාවනුයේ ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ නිවාස කිහිපයක් විනාශ කර ඇති බවය.
ලෙබනනයේ ජාතික ප්රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කර ඇති පරිදි අද උදෑසන ලෙබනනයේ මජ්ඩාල් ගම්මානයේ නිවාස ගණනාවක් ඊශ්‍රායලය විසින් විනාශ කර ඇති බවත් අල් - මන්සූරි නගරයේ තවත් නිවාස කිහිපයකට වෙඩි තබා ඇති බවත්ය.
