වාහන ආනයනයට සීමා පැනවීමෙන් වෙළඳපොලෙහි සංකූලතා මතුවීමේ අවදානමක්

වාහන ආනයනයට සීමා පැනවීමෙන් වෙළඳපොලෙහි සංකූලතා මතුවීමේ අවදානමක්

July 11, 2026   01:30 pm

වාහන ආනයනය සඳහා සීමා පැනවීම මඟින් වෙළඳපොල තුළ දැඩි සංකූලතා මතුවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේශක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම, මෙරට වාහන අවශ්‍යතාවය මේ වන විට යම් මට්ටමකට සපිරී පැවතීම හේතුවෙන්, පසුගිය වසරට සාපේක්ෂව මෙවර වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම පහත වැටෙනු ඇති බව ද ඔහු සඳහන් කර සිටී.

ලබන අගෝස්තු 15 වැනිදායින් පසු වාහන ආනයන ප්‍රතිපත්තිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව රජය ගන්නා තීරණය මෙහිදී තීරණාත්මක වනු ඇතු බවද ඒ මහතා පෙන්වා දී ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලට අනුව අමතර අධිභාර පැනවීමට නොහැකි වුවද, රජය මෙම අධිභාර ඉවත් කළහොත් නැවත වරක් වෙළෙඳපොළ තුළ යම් කම්පනයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාල වකවානුවේ පැවති දැඩි වාහන ඉල්ලුම මේ වන විට බොහෝ දුරට පූර්ණය වී ඇති බැවින් සහ ආනයනකරුවන් ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා ඇති බැවින් වාහන ලියාපදිංචිය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයන බදු ආදායම පසුගිය වසරේ මට්ටමට ළඟා නොවන බව ඔහුගේ පුරෝකථනය වී තිබේ.

දැනටමත් වාහන සඳහා 150% ක් සහ 200% ක් වැනි අධික තීරුබද්දක් අය කරන බැවින් තවදුරටත් එවැනි බදු පැනවීම අසාධාරණ බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු මහතා, රජය එකම පිරිසකගෙන් දිගින් දිගටම බදු අයකර ඔවුන් වෙහෙසට පත් නොකර රජයේ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බව අවධාරණය කර සිටී. 

එමෙන්ම ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම හරහා බදු ආදායම යම් ප්‍රමාණයකට වැඩි කරගත හැකි බවත්, එමඟින් මෙරට ආර්ථිකය ඉදිරියට ගමන් කරන බවට වන ශක්තිමත් සංඥාවක් වෙළෙඳපොළ වෙත ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ධනනාත් ප්‍රනාන්දු මහතා,

"අපේ නම් අදහස තමයි වාහන ආනයනය සඳහා එවැනි සීමා පැනවීම එතරම්ම හොඳ නෑ කියන එක. මොකද ඒ සඳහා වෙළෙඳපොළේ විශාල අපි කියනවා සංකූලතාවයක් ඇතිවෙනවා. මොකද එකපාරටම වාහන ආනයනය නවත්තන්න, අධිභාරයක් ගහපු ගමන්ම වැඩිපුරත් ගිහිල්ලා මිනිස්සු LC ඕපන් කරනවා. ඉතින් දැන් මෙවර අගෝස්තු 15 වෙනිදා වාහන ආනයනය දීර්ඝ කරන්න අපි දන්නෑ රජය මොන වගේ තීරණයක් ගනීද කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවයට අනුකූලවනම්, එහෙම අමතර අධිභාර ගහන්න බෑ. හැබැයි ඉතින් එකපාරට අධිභාරය ඉවත් කරොත් එහෙම, නැවත වරක් එකපාරටම වෙළෙඳපොළට පොඩි කම්පනයක් ඇතිවෙන්න පුළුවන්. අලුතින් LC ඕපන් කරලා, එවැනි දෙයක් වෙලා. ඒ නිසා දීර්ඝ කරයිද නැද්ද කියන එක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්. අනික් පැත්තෙන් ගත්තට පස්සේ වාහන ආනයනය ක්‍රමයෙන්, අපි කියන්නේ වාහන ආනයනය කරන සංඛ්‍යාව විදිහට දැන් ක්‍රමයෙන් වාහන ලියාපදිංචි වෙන සංඛ්‍යාව යම්කිසි ප්‍රමාණයකට අඩු වෙමින් යන්නේ. වාහන අවශ්‍ය කට්ටිය වාහන ගෙන්නගෙන තිබෙන්නේ. ඒ වගේම මම හිතන්නේ වාහන විකුණන කට්ටියත් අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායමත් ගිය වසරේ තරම්ම ලැබෙන එකක් නැහැ කියන එක තමයි පුරෝකථනය."

"නමුත් වාහනවලට එහෙම අනවශ්‍ය විදිහට තීරුබදු ගහලා, මොකද දැනටමත් 150% ක් 200% ක් වගේ තීරුබද්දක් මේ වාහන සඳහා අයවෙනවා. ඉතින් එවැනි තීරුබද්දක් අය කරන එක එතරම්ම සාධාරණ නැහැ කියන එක තමයි අදහස. අනිත් පැත්තෙන් මෙතනදි කරන්න පුළුවන් දේ තමයි රජය ආදායම් උපයගන්නවා වගේම, මේ ආදායම් උපයගන්න එකම පිරිසකගෙන් නම් ඔවුන් විශාල මහන්සියකට පත්වෙනවා. ඉතින් ඒ නිසා අර බදු ආදායම් වැදගත් වගේම වියදම් කළමනාකරණය කර ගැනීමත් ඉතාමත්ම වැදගත් කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට දැකගන්න අවශ්‍ය වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ තමයි මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යම. මොකද ඒ හරහා බදු ආදායමත් යම්කිසි ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් වෙළඳපොලට සංඥාවක් දෙන්න පුළුවන් අපි ඉස්සරහට යනවා කියලා."