සුරේෂ් සලේගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම 14වනදාට කල් දැමෙයි
July 10, 2026 02:13 pm
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත් අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.
එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "සහරාන් හෂීම් විසින් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සදහා වු සිය සැලැස්ම 2018 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනක් ද සිල්වා කොමිසම හමුවේ ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබෙනවා. අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ මතවාදය පෙරදැරි කරගෙන ඔහු ක්‍රියාත්මක වී තිබෙනවා. එය කළේ සලේ නෙවෙයි. මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කර සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම ඔහුගේ අරමුණ වුණා. ඒ පිළිබඳ ප්‍රබල කරුණු ජනක් ද සිල්වා කොමිසම විසින් හෙළිදරව් කර තිබෙනවා. රජයේ ආරක්ෂක අංශවලට සහ බුද්ධි අංශවලට අනාවරණය කර ගැනීමට නොහැකි වන පරිදි න්‍යායාත්මක මෙන්ම අවි පුහුණුව ලබා දීමට කටයුතු කර තිබෙනවා. සහරාන් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය අන්තවාදී මතවාද ප්‍රචලිත කළා. ශානි අබේසේකර සඳහන් කරන ආකාරයට ඒවා කළේ පෙත්සම්කාර සුරේෂ් සලේ නොවෙයි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදු කිරීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ බව එවක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ඔහුගේ ප්‍රකාශවලින් තහවුරු කර තිබුණා. ඒ අනුව එෆ්. බී. අයි සංවිධානයේ නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට සහාය වුණා. ඩිජිටල් උපකරණ විශ්ලේෂණය කිරීම, වින්දිතයින් ගෙන් තොරතුරු ලබා ගැනීම ඇතුළු අංශ ගණනාවකින් ඔවුන් විමර්ශනයට සහාය වුණා. එදා සී. අයි. ඩී අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශානි අබේසේකර මහතායි." යනුවෙන් සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් මිල්හාන් ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරීම සිදු වුණා. එෆ්. බී. අයි ආයතනය එම අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් යැයි ප්‍රකාශ කර තිබෙනවා. එසේ තිබියදී ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න කොහොමද? කියන්නේ සුරේෂ් සලේ තමයි මහ මොළකරු කියලා. 2019 ජනවාරි මස 25 වනදා සිට අප්‍රේල් මස 20 වනදා දක්වා සහරාන් හෂීම් ඇතුළු තව්හීද් ජමාත් සංවිධානය විසින් සිදුකළ සහ සිදුකිරීමට නියමිත අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට වාර්තා යොමු කර තිබෙනවා. එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කර තිබෙනවා. එහෙත් ඒවා වැළැක්වීමට ඔවුන් කිසිම පියවරක් ගත්තේ නෑ. ඔවුන් එම වාර්තා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන සිදු කරන නිලධාරීන්ට ලබාදී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නමැති නිලධාරියා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කෙරිණි.
ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් තැබුණි.
