වී මිලදී ගැනීම් එළැඹෙන සඳුදා සිට ඇරඹෙයි

වී මිලදී ගැනීම් එළැඹෙන සඳුදා සිට ඇරඹෙයි

July 10, 2026   10:46 am

වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බවය.

ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝ එකක් රුපියල් 130, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 140ක් වැනි මිලකට බවත් පැවසූ ඒ මහතා වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා අත්පත් කර ගැනීම් සිදුකර ඇති බවත් මෙහිදී පැවසීය.

ඒ අනුව ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම් මේ වන විට සැලසුම් කර ඇති බවත් යම් හෙයකින් ගබඩා සම්පූර්ණයෙන් පිරුණහොත් අසල පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා ලබා ගැනීම පිළිබඳවද මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම රාජය මගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති බවත් ඊට අමතරව ඔඩපන ණය යටතේ රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇති බවත් පැවසූ ඒ මහතා මේ මගින් කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට වී තොග රැස් කරගැනීම සඳහා පහසුකම් සලසා දී ඇතැයිද මෙම කාර්ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන බවද පැවසීය.

එහිදී වී මිලදී ගැනීම් සහ ඔඩපන ණය යෝජනා ක්‍රමය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා,

"මෙවර ඔඩපන ණය සුදුසුකම් තිබෙන සමූපකාරවලටත් ලබා දෙන්න සූදානම් කරලා තිබෙනවා. එහිදී අපි ඇත්තටම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ ආරක්ෂණ තොගය. වී අලෙවි මණ්ඩලය හැම වෙලාවෙම ප්‍රමිතිගත වී තමා තියගාන්නේ. මොකද අපිට මේක ආරක්ෂණ තොගයක් හැටියට යම් කාලයක් තියාගන්න සිද්ධ වෙන නිසා. ඒකෙදි අපි කියනවා 14%ක තෙතමනයත්, 9%කට වඩා අඩු බොල් ප්‍රතිශතයකුත් තියෙන්න ඕනේ. ඒක අපි මැනලා තමයි ගන්නේ. ඊට අමතරව  විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ කන්නයේ වී තමා අපි මිලදී ගන්නේ. ඒක තමා අපේ වැඩසටහන"