තැන තැන සිදු වූ මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයට

තැන තැන සිදු වූ මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයට

July 10, 2026   07:25 am

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පදවිය, අනුරාධපුර, පොතුවිල්  සහ වැලිගම යන පොලිස් වසම්වලදී ඊයේ එම අනතුර සිදුව ඇත.

බෝගස්හන්දිය-පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් දෙක කණුව ආසන්නයේදී සිදුව තිබේ. 

බෝගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ සමඟ ගමන් කළ දරු දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පැදිකරු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 

මියගොස් ඇත්තේ කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, අනුරාධපුර-රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය ආසන්නයේදී කාර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු සහ මෝටර් රථ රියැදුරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුපැදිකරු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 

මියගොස් ඇත්තේ සාලියපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

පොතුවිල් පොලිස් වසමේ පොතුවිල්-අක්කරපත්තුව මාර්ගයේ ඌරනිය හන්දිය ආසන්නයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අක්කරපත්තුව දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් වාහන දෙකම පෙරළී ගොස් ඇති අතර, අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියැදුරු කල්මුණේ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත. 

මියගොස් ඇත්තේ කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර වැලිගම පොලිස් වසමේ සත්‍යා හෙට්ටිගේ මාවතේදී සිදුව තිබේ. 

පරණ ගාලු පාර දෙස සිට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළී තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් රියැදුරු සහ පසුපස ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා වලාන රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුපස ගමන්ගත් පුද්ගලයා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය. 

රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.