චීනයේ 'සපත්තු අගනුවර' කම්හලක දැවැන්ත ගින්නක්
July 9, 2026 09:33 pm
ගිනිකොනදිග චීනයේ ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (9) දහවල් හටගත් දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්ශනවලට අනුව, ගිනිගැනීමට ලක්වූ ගොඩනැගිල්ලෙන් විශාල කළු දුමාරයක් අහසට නැඟී එන අතර, කර්මාන්ත ශාලාවේ වහලය මත සේවකයින් පිරිසක් සිරවී උපකාර ඉල්ලා සිටින අයුරු දක්නට ලැබිණි.
රාජ්‍ය විකාශන මාධ්‍ය වාර්තා කළේ, ගලවා ගැනීමේ නිලධාරීන් සිය ගණනක් වහා ක්‍රියාත්මක වී කර්මාන්ත ශාලාව තුළ සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට සමත්ව ඇති බවයි. කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම ශෝචනීය සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, ගින්නෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බවය.
අනතුරට හේතුව වහාම සෙවිය යුතු බවත්, ඊට වගකිව යුතු හෝ නොසැලකිලිමත් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් වගකිය යුතු ආයතන වෙත උපදෙස් ලබාදී ඇත.
ගින්න හටගත් ජින්ජියැං නගරය චීනයේ මෙන්ම ලෝකයේ ද 'සපත්තු අගනුවර' ලෙස ප්‍රකටය.
දත්ත වාර්තාවලට අනුව ලෝක සමස්ත සපත්තු නිෂ්පාදනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් සැපයෙන්නේ මෙම නගරයෙනි.
එහි පිහිටි දහස් සංඛ්‍යාත කර්මාන්ත ශාලා මඟින් වාර්ෂිකව සපත්තු යුගල බිලියන 1.2කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.
