කෝටි ගාණක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි
July 9, 2026 10:50 am
රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහ හතරක් වටිනා රත්තරන් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
බලපත්‍ර නොමැතිව සහ රේගුව වෙත ප්‍රකාශ නොකර, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු මෙලෙස ඊයේ (08) ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ උදෑසන 06.30ට ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480ක් බරැති කරමාළ 12ක්, අත් පළදනා 10ක් සහ රන් බිස්කට් 02ක් සගවා ගෙන සිට ඇත.
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද උදෑසන නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත යොමු කළ අතර, එහිදී පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම රත්තරන් තොගය රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10ක දඩ මුදළක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
