මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? - කැබිනට් හමුවේදී හෙළිදරව්වක්

මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? - කැබිනට් හමුවේදී හෙළිදරව්වක්

July 7, 2026   03:09 pm

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධව මේ වන විට පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට බන්ධනාගාර කොමසාරිස්වරයාද එක්ව සිටි අතර එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබී තිබුණේද යන්නය.

කෙසේ නමුත් මීට පිළිතුරු ලබා දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එලෙස කිසිදු බුද්ධි තොරතුරක් මේ සම්බන්ධව නොලැබුණු බවය.

සිදුවීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කෙරෙන අයුරු පැහැදිළි කළ කැබිනට් ප්‍රකාශය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"මේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් අංශ කිහිපයකින් පරීක්ෂණ දියත් වෙලා පවතිනවා. එකක් අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සමන්විත වෙනම කමිටුවක් පවත්වගෙන යනවා. මීගමුව පොලීසිය සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. සහ අනිත් පැත්තෙන් බන්ධනාගාරය පැත්තෙනුත් පරීක්ෂණය කරගෙන යනවා. ඒ සියලු වාර්තාවලින් තමයි අවසානයේදි සිදුවීම පිළිබඳව සමස්තය අනාවරණය කරගන්න ලැබෙන්නේ."

බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා 

"එවැනි බුද්ධි තොරතුරක් කලින් ලැබිලා තිබුණේ නෑ... රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොනවන විදිහට තමයි නිලධාරීන් යොදවලා තිබුණේ. එවැනි නිලධාරින් යොදවලා තිබුණ නිසා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන්කම ලැබුණේ. 

පස්වෙනිදා හැන්දෑව වෙනකොට මේ තත්ත්වය සහමුළින්ම පාලනය කරලා රැඳවියන් වාට්ටුවලට යොමුකරලා වසා දමලා, ආහාරපාන ලබා දීලා ඒ කටයුතු ඔක්කොම අවසන් කරලා තිබුණේ. පසුදා උදෑසන කියන්නේ සඳුදා දවසක් ඒ දවසේ අධිකරණ කටයුතු තිබෙන දවසක්.. කෑම ලබා දීලා ඒ කටයුතු ආරම්භ කරන්න තමයි නිලධාරීන් ප්‍රවේශ වෙලා තිබුණේ. ඒ වෙනකොට තමයි මේ රැඳවියන් මත්ද්‍රව්‍ය පානය කරලා සිහිවිකල් තත්ත්වයට පත්වෙලා තිබුණා කියලා දැන් අපිට අනාවරණය වෙලා තිබෙනවා. ඒ රැඳවියන් අතර ඒ ඝට්ටනය ඇතිවෙලා. ඒක සමනය කරන්න ඒ නිලධාරීන් රාජකාරි කරන අතරතුර ඒ තැනට ප්‍රවේශ වෙලා තිබෙනවා. 

පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා සියලු විධි විධාන යොදලා තිබුණේ ඔය රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති භාවිත කරලා තිබෙන නිසා සිහි විකල් තත්ත්වයෙන් සිටියේ. කාන්තාවනුත් ඒවා පාවිච්චි කරලා තිබෙනවා. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තිබෙනවා. ඩෙංගු සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඒකේ වෛද්‍යවරු ඉන්නවා ඔවුන් ඒවා සුපුරුදු විදිහට අනුගමනය කරමින් සිදුකරලා තිබෙනවා. සිද්ධිය මැඩපැවැත්වීම සඳහා තමයි රාජකාරි කරන නිලධාරීන් තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා තමයි මේක නවත්වගෙන තිබෙන්නේ."