ශ්‍රී ලංකාව ලකුණු 142ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 142ක් ඉදිරියෙන්

July 7, 2026   05:51 am

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියේය. 

ඒ අනුව කොදෙව්වන්ට වඩා ලකුණු 142ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසන් දිනයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 549ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට (Declare) තීරණය කළේය. 

ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ ළහිරු උදාර පන්දු 248කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමඟින් විශිෂ්ට ලකුණු 188ක් රැස්කළේය. 

මීට අමතරව සොනල් දිනූෂ ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් ලබා ගමිනින් ඉනිම ශක්තිමත් කළේය.

පිළිතුරු ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 499ක් රැස් කිරීමට සමත් විය. 

කොදෙව් ඉනිම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් (Justin Greaves) පන්දු 325කදී ලකුණු 180ක නොපසුබට ඉනිමක් ක්‍රීඩා කළ අතර, ශයි හෝප් (Shai Hope) ලකුණු 112ක් සහ ජෝන් කැම්බල් ලකුණු 72ක් බැගින් ලබා ගත්හ. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 130කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 50ක වාසියක් සමඟින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 32ක් තුළ බිඳ වැටුණේ ළහිරු උදාර (0) සහ නිශාන් මධුෂ්ක (20) දැවී යාමෙනි. 

කෙසේ වෙතත්, සිව්වැනි දිනය නිමාවන විට නොදැවී කණුවේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 40ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් විය.