අධි අවදානම් කලාප 23ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට

අධි අවදානම් කලාප 23ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට

July 5, 2026   07:46 am

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභාව යන ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මිගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන ප්‍රදේශවලත් මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කරනු ඇත.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශව රැසකගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.