ලොවේ ආදරය දිනූ ශ්‍රේතා සහ ඇගේ ඉත්තෑ මිතුරා

ලොවේ ආදරය දිනූ ශ්‍රේතා සහ ඇගේ ඉත්තෑ මිතුරා

July 3, 2026   10:41 pm

පුංචි දරුවන්ගේ ලෝකය හැමවිටම අහිංසක මෙන්ම අතිශය සුන්දරය. ඒ සුන්දර ලෝකය තවත් හැඩකළ අපේ රටේ පුංචි දියණියකට අද මුළු ලෝකයක්ම ආදරය කරයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයක් දිනාගනිමින්, මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හදවත් සසල කළේ ශ්‍රී ලාංකීය පුංචි දියණියක සහ ඇගේ සුරතල් ඉත්තෑ මිතුරාගේ අපූර්ව සබැඳියාවයි.

මුලින්ම මෙම දර්ශන පෙළ අන්තර්ජාලයට එක්ව තිබුණේ එය බංග්ලාදේශයේ සිදුවීමක් යැයි පවසමිනි. එහි දැක්වුණේ වෙල්යායක් මැදින් පියවර තබමින් ඉදිරියට යන පුංචි දියණියකි. 

ඇය පසුපසින් කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව, දැඩි ලෙන්ගතුකමකින් දිවයන පුංචි ඉත්තෑවෙක් ද විය.

මුළු ලෝකයම මෙම දසුන ආදරයෙන් වැළඳගත්තේ ඇය බංග්ලාදේශයේ දැරියක යැයි සිතමිනි. කෙසේ වෙතත්, සැබෑ තොරතුරු අනාවරණය වෙද්දී මුළු ලෝකයක්ම වසඟ කළ මේ අසිරිමත් ආදර කතාවේ සැබෑ හිමිකාරිය අපේ රටේ දියණියක් බව ලෝකය දැනගත්තේය.

මේ පුංචි දියණිය සොයා ගිය 'අද දෙරණ' මාධ්‍ය කණ්ඩායමට ඇය හමුවන්නේ ඓතිහාසික පොළොන්නරුව, 14 ඇළ ගම්මානයෙනි. 

දැනට 2වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය නමින් ශ්‍රේතා පුන්සදී ය. ශ්‍රේතා හමුවීමට යන විටත්, ඇය සිටියේ සුරතල් සතුන් පිරිවරාගත් ඇගේ සුන්දර ලෝකයේය.

දිනක් මේ පුංචි ඉත්තෑ පැටවා ශ්‍රේතාගේ නිවස අසලට පැමිණ තිබුණේ දරුණු ලෙස සුනඛ ප්‍රහාරයකට ලක්ව, තුවාල ලබා සිටියදීය.

වහා ක්‍රියාත්මක වූ ශ්‍රේතා ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්, මේ අහිංසක ඉත්තාවාව සුවපත් කළේය.

එතැන් පටන් මේ පුංචි ඉත්තෑ පැටවා ශ්‍රේතාගේ නිවසේ තවත් ආදරණීය සාමාජිකයෙකු බවට පත්විය.