'හරක් කටා'ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාසත් ඩුබායි ඉඳලා

'හරක් කටා'ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාසත් ඩුබායි ඉඳලා

July 3, 2026   08:32 pm

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ බිරිඳගෙන්, රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායිහිදී රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගත් බව කියන අවස්ථාවේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද ඩුබායි හි රැඳී සිට ඇති බව අල්ලස් කොමිසම අද (3) අධිකරණය හමුවේ සඳහන් කළේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන් ජූලි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

හරක් කටා නැමැත්තා රැදවුම් භාරයේ සිටියදී සහන සැලසීමට මෙම අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන අයට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති ඊට අදාළ නඩුව අද (3) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙහිදී මෙම විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ, ප්‍රශ්නගත අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාව වනවිට මෙම නඩුවේ දෙවන සැකකරුගේ පියාවන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවය.

"ස්වාමිනි, ප්‍රශ්නගත අල්ලස් මුදල ලබාගැනීමේ ගනුදෙනුව සඳහා මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ 2023 මාර්තු 25 වනදා, යළි පැමිණ ඇත්තේ මාර්තු 29 වනදා. 

මෙකී කාලය තුළ මේ දෙවන සැකකරුගේ පියාවන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. 

ඔහු ඩුබායි රාජ්‍යයට යාමට පිටත්ව ඇත්තේ 2023 මාර්තු 21. ඒ වගේම යළි මෙරටට පැමිණ ඇත්තේ මේ සැකකරුවන් දිවයිනට පැමිණීමට දිනකට පෙර, එනම් මාර්තු 28. 

ඔහු කුමන කාරණාවකට ඩුබායි රාජ්‍යයට ගියාද, එහිදී මොනවාද කළේ, කාවද හමුවුණේ කියලා සොයන්නත්, මේ අපරාධයට ඔහුගේ සම්බන්ධතාවයක් තියෙනවාද කියලා සොයන්නත් වැඩිදුර විමර්ශන කරනවා.

ඒ වගේම පසුගිය නඩු වාරයේදී අපි කිව්වා මේ සැකකරුවන් අල්ලස් අත්තිකාරම් ලෙස ලබාගත් ලක්ෂ 1,200ක මුදලින් ලක්ෂ 200ක් ආපසු ලබාදීමක් කරලා තියෙනවා කියලා. ඒ මුදල මේ පළමු සැකකාර චරිත් විසින් ලසන්ත නැමැත්තෙකුට දීලා, මිදිගම රුවන් මාර්ගයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා හරහා හරක්කටාගේ බිරිඳ වන මදුවන්තිට යවා තිබෙනවා. 

එහිදී ඔය ලක්ෂ 200 චරිත් නැමැති දෙවන සැකකරු ලසන්ත නැමැත්තාට දී තිබෙන්නේ නුගේගොඩ, නාවලපාර, විජයබා මාවත කියන ස්ථානයේදී.

මේ ස්ථානය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණා එම ස්ථානයේ තමයි මේ දෙවන සැකකාර රඛිත රාජපක්ෂ නැමැත්තාගේ පියා වන විජයදාස රාජපක්ෂගේ වාසස්ථානය තිබෙන්නේ කියලා. 

ඒ වගේම විමර්ශනයේදී මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා අල්ලස් ලෙස ලබාගත් මේ මුදල් මෙරටට ගෙනඒම සිදුවෙලා තියෙන්නේ උන්ඩියල් ක්‍රමවේදයට කියලා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී ලබාගත් දුරකථනවල Calls, Whatsapp පණිවුඩ මේ වෙද්දි පරික්ෂා කරමින් ඉන්නවා. 

මේ සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ විමර්ශන සිදුකරනවා. ඒ වගේම විදේශගතව සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. 

නදුන් චින්‍තක හෙවත් හරක් කටා මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙනුත් විමර්ශනයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 

එබැවින් අධිකරණයට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකය මත විමර්ශන අවසන් වනතුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා".

අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළා. 

"ස්වාමිනි, මාගේ සේවාදායක චරිත් අබේසිංහට එරෙහිව එල්ල වූ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මුදල් ලබාගත්තා කියන 2024 වසරේ ඔහු විදෙස්ගත වුණේ නැහැ කියලා ඔහු මට උපදෙස් දී තිබෙනවා. 

ඒ ලබාගත්තු මුදල්වලින් ගෙයක් හැදුවා කිව්වාට, 2018 පටන්ගත්තු ගේ තාම හදාගෙන යනවා. සුඛෝපභෝගී වාහනයක් ගත්තා කිව්වාට ඔහු 2023 වසරේ ගත්තු වාහනයට තාම ලීස් ගෙවනවා.

දූෂණ විරෝධී පනතේ 149(1) ප්‍රකාරව සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළ ඉල්ලීම නීත්‍යනුකූල නැහැ. එබැවින් ඒ අනුව කටයුතු නොකර ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා. 

මොකද ඔහුට වයස අවුරුදු 2 1/2ක නිවුන් දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔහු වෘත්තියෙන් නළුවෙක්, කැමරා ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. 

මේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා ඔහුගේ වෘත්තීමය කටයුතුවලට බලවත් ලෙස බාධා එල්ලවෙලා තියෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ දැනට විකාශය වන ටෙලිනාට්‍ය අඩපණ වෙන ස්වභාවයක් පවා උද්ගතවෙලා". 

අනතුරුව සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සමගින් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප අයැද සිටියේය.

"මගේ සේවාදායකයාට එරෙහිව අල්ලස් පනතේ 19 සහ 20 යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණාට ඒ යටතට වැටෙන වරදක් ඔහු සිදුකර නැහැ. ඔය කියන කරුණු සියල්ල ඇත්ත කියලා පිළිගත්තත් මේ වගන්ති යටතට වැටෙන වරදක් සිදුකර නැහැ. 

දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යනුකූල නැහැ. සාමාන්‍ය ඇප පනතේ ප්‍රතිපාදන යටතේ ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙනවා. තාත්තා ඇමති නිසා මේ ඔක්කෝම කළා කිව්වාට දැන් තාත්තාට කරන්න පුළුවන් දෙයක් නැහැ. තාත්තා නිකං සොක්කෙක්. 

ඒ නිසා මගේ සේවාදායකයාට සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් කිරීමේ හැකියාවක් නොවන බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා".

අනතුරුව තෙවන සැකකාර සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ වෙනුවෙන්ද නීතිඥවරයෙකු ඇප අයැද සිටී අතර සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළා.

"අල්ලස් පනතේ වැරදි සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනතේ 149 (1) සහතිකය ඉදිරිපත් කරන්න බැහැ කියන විත්තියේ තර්කය අධිකරණය පිළිගන්නේ නැහැ. නමුත් සැකකරුවන්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට තියෙනවා. 

ඇප ලබාදීමේදී සුවිශේෂි කරුණු සලකා බැලිය යුතුයි. පසුගිය දිනයේ ඉදිරිපත් වූ කරුණුවලට වැඩිමනක් ලෙස අද දිනයේ ඉදිරිපත් වූ කරුණු මේ අවස්ථාවේ සුවිශේෂි කරුණු ලෙස අධිකරණයට පෙනී යන්නේ නැහැ. එබැවින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. 

මේ නියෝගයෙන් අතෘප්තියට පත්වෙනවානම් ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. නැතිනම් අවස්ථානුගත කරුණක වෙනසක් තියෙනවානම් මීළඟ දිනයේත් ඇප ඉල්ලන්න.  සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අදහසක් මේ අධිකරණයට නැහැ."

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කෙරුණු රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන් ජුලි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.