මොජ්ටාබා අලි කමේනි මිය ගිහින්ද - ලොවටම සැකයක්
July 3, 2026 02:05 pm
ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය හුදෙක් ශෝකාකූල උත්සවයක් පමණක් නොව, දැඩි සැක සංකා සහ අබිරහස් පිරුණු එකක් බවට පත්ව ඇත්තේ වත්මන් උත්තරීතර නායක සහ අලි කමේනිගේ පුත් මොජ්ටාබා අල් කමේනි එයට සහභාගී නොවන බව වාර්තා වීමත් සමඟය.
ඉරාන උත්තරීතර නායකයාගේ නියෝජිත අයතුල්ලා හකීම් එලාහි ප්‍රකාශ කරන්නේ, ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි තර්ජන සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් නව නායකයා ප්‍රසිද්ධියේ පෙනී සිටීම අනතුරුදායක බව ආරක්ෂක අංශ තක්සේරු කර ඇති බවය.
නමුත්, ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සහ දේශපාලන විචාරකයින් පළ කර ඇති අදහස් මේ වනවිට ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතී.
ඒ, නව නායක මොජ්ටාබා මේ වන විටත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇතිද, නැතහොත් ඔහු දරුණු අනතුරකට මුහුණ දී සිටින්නේද යන්න පවතින සැකය මතය.
මාස 4කට පසු ඇරඹෙන අයතුල්ලා අලි කමේනිගේ අවසන් ගමන
1989 වසරේ සිට, එනම් වසර 35කට අධික කාලයක් ඉරාන ඉස්ලාමීය ජනරජයේ නිරපේක්ෂ පාලකයා සහ ආධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනි, 86 හැවිරිදි වියේ පසුවන අවස්ථාවේදී පෙබරවාරි 28 වැනිදා ඝාතනයට ලක්විය.
අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය විසින් ටෙහෙරාන් අගනුවර මර්මස්ථාන ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාරයකින් සිදු වූ මෙම ඝාතනය, මුළු මහත් ඉස්ලාමීය ලෝකයම මවිතයට පත් කළේය.
යුද්ධයේ බිහිසුණු බව හමුවේ මාස හතරකට අධික කාලයක් රහසිගතව තබා තිබූ ඔහුගේ දේහය, ඉකුත්දා ප්‍රථම වතාවට ටෙහෙරාන් හි ඉමාම් කමේනි ග්‍රෑන්ඩ් මොසල්ලා දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා විවෘත කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ නෙත් අගට කඳුළු එක් කරමිනි.
අමෙරිකාවට දෙන දේශපාලන පණිවිඩය
මෙම අවමංගල්‍ය උත්සවයේ කාලසටහන දෙස බැලීමේදී ඉරානය විසින් බටහිර ලෝකයට සූක්ෂ්ම දේශපාලන පණිවිඩයක් නිකුත් කරමින් සිටින බව පෙනී යයි.
ඒ, මෙම දින 6ක අවමංගල්‍ය උත්සවයේ ආරම්භය, තමන්ට ප්‍රහාර එල්ල කිරීමට පෙරමුණ ගත් අමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දිනය යෙදෙන ජූලි 4 වැනිදාට යොදා තිබීමයි.
ජූලි 9 වැනිදා දක්වා පැවත්වෙන මෙම අවසන් ගමන ඉරාන ඉතිහාසයේ දැවැන්තම මහජන ගංගාවන්ගෙන් එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මිලියන 20කට අධික ජනකායක් සහභාගී වනු ඇතැයි අනුමාන කෙරෙන මෙම අවමංගල්‍යයේ ගමන, ඉස්ලාමීය සංස්කෘතික සහ දේශපාලන වටිනාකම් කියාපාන්නකි.
මිත්‍ර රටවල සහයෝගය
පවතින දැඩි යුදමය සහ ආරක්ෂක තර්ජන මධ්‍යයේ වුවද, ඉරානයේ කලාපීය මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම අවස්ථාවට සහභාගී වන බව සහතික කර ඇත.
එමෙන්ම ලෝක බලවතුන් වන චීනය සහ ඉන්දියාව ද සිය ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයින් මේ සඳහා පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ.
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය යනු ඉරානයේ එක් යුගයක නිමාවකි.
මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හඬා වැලපීම්, අමෙරිකාවට එරෙහි දේශපාලන සටන් පාඨ සහ නව නායකත්වයේ අබිරහස් අතුරුදන්වීම් මැද සිදුවන මෙම අවසන් ගමන, ඉදිරි මැදපෙරදිග දේශපාලනයේ මීළඟ පරිච්ඡේදය කුමක්ද යන්න තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.
