පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි - ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
July 3, 2026 08:35 am
පාපන්දු ක්‍රීඩාලෝලීන්ට අස්වැසිල්ලක් එක් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට අද (03) සුදුසුකම් ලබා ගත්තේය.
ඒ, තියුණු තරගයකින් අනතුරුව ක්‍රොඒෂියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වූ පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තරගය ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ක්‍රීඩාලෝලීන් 40,000කට අධික පිරිසක් තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අතර, දෙපිලම පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය.
දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේදී ඉවාන් පෙරිෂිච් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ පෘතුගාල ප්‍රේක්ෂකාගාරය නිහඬ කරමිනි.
61 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කළ ද, එය අවලංගු කිරීමට තරග විනිසුරු තීරණය කළේය.
කෙසේ වෙතත්, 66 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගත් රොනාල්ඩෝ සිය කණ්ඩායම වෙනුවෙන් සමකරන ගෝලය වාර්තා කළේය.
තරගය අවසන් වීමට මිනිත්තු හතරක් පමණ තිබියදී ගොන්සාලෝ රාමෝස් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රාහී දෙවැනි ගෝලය වාර්තා කළේය.
අවසන් මොහොතේ ක්‍රොඒෂියාව තවත් ගෝලයක් වාර්තා කළ ද, එය ද අවලංගු කෙරුණු අතර, ගෝල 2-1ක ජයක් සමඟ පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එම වටයේදී පෘතුගාලය ස්පාඤ්ඤය සමඟ තරග වැදීමට නියමිතය.
තරගයෙන් අනතුරුව රොනාල්ඩෝ ඇතුළු පෘතුගාල කණ්ඩායම පසුගිය වසරේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පෘතුගාල ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සිහිපත් කළහ.
මේ අතර, වසර 16කට පසු පළමු වරට ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ වටයේ තරගයක් ජය ගනිමින් ස්පාඤ්ඤය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් 32 දෙනාගේ වටයේ 11 වැනි තරගය ලෙස ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව අතර තරගය ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ පළමු මිනිත්තු 35 තුළ කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
36 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සාබාල් ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, එම ගෝලයත් සමඟ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස ස්පාඤ්ඤයේ වාසියෙන් අවසන් විය.
දෙවැනි අර්ධයේදී පෙඩ්‍රෝ පොරෝ ස්පාඤ්ඤයේ දෙවැනි ගෝලය වාර්තා කළ අතර, 88 වැනි මිනිත්තුවේදී යළිත් ගෝලයක් රැස් කළ මිකෙල් ඔයාර්සාබාල් ස්පාඤ්ඤයේ ජය තහවුරු කළේය.
ඒ අනුව ගෝල 3-0ක විශිෂ්ට ජයක් වාර්තා කළ ස්පාඤ්ඤය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
