ඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදැමීමට රජය සැරසෙයි

ඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදැමීමට රජය සැරසෙයි

July 2, 2026   07:14 am

මේ වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, වසරේ මුල් මාස හය සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බවය.

ඒ අනුව ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව සුසිල් රණසිංහ අමාත්‍යවරයා පවසයි.

වර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකෙරෙන අතර මේ වසරේ මුල් මාසය 06 සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට රජය පියවර ගෙන තිබුණි. 

ජුලි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා මාස 06ක කාලය තුළ ගාස්තු ඉහළ දැමීමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් 'අද දෙරණ' නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු ලබාදුන්නේ මෙවන් ප්‍රතිචාරයකි.

"අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ."