ශ්‍රී ලංකාව යළිත් 'ඉහළ මධ්‍යම ආදායම්' ලබන රටවල් අතරට - ලෝක බැංකුව

ශ්‍රී ලංකාව යළිත් 'ඉහළ මධ්‍යම ආදායම්' ලබන රටවල් අතරට - ලෝක බැංකුව

July 1, 2026   10:01 pm

ලෝක බැංකුව විසින් අද (1) නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් 'ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්' (Upper-Middle Income Economy) ලෙස වර්ගීකරණය කර තිබේ.

2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබුණි.

එහෙත් එම අර්බුදයෙන් වසර තුනකට පසු, එනම් 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) 5%ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ අනෙකුත් කර්මාන්ත අංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථා තත්ත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක සංවර්ධන දත්ත මධ්‍යස්ථානය විසින් සෑම වසරකම ජූලි 1 වන දින ලොව රටවල ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු පදනම් කර ගනිමින් මෙම වාර්ෂික වර්ගීකරණයන් යාවත්කාලීන කරනු ලබයි.

ඒ අනුව ලෝක බැංකුව විසින් ලොව පුරා පවතින ආර්ථිකයන් පහළ ආදායම් ලබන රටවල්, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් හා ඉහළ ආදායම් ලබන රටවල් ලෙස ප්‍රධාන ආදායම් කාණ්ඩ 4කට බෙදා ඇත.

මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගයීමට රටවල් 218ක් ලක්ව තිබේ. 

එහිදී ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද 'පහළ මධ්‍යම ආදායම්' කාණ්ඩයේ සිට 'ඉහළ මධ්‍යම ආදායම්' ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.