ස්පාඤ්ඤයේ උණුසුමෙන් ජුනි මාසයේ මරණ 1,000 ඉක්මවයි
July 1, 2026 06:08 pm
යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්‍රිත මරණ 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
එරට නිල වාර්තාවලට අනුව, අධික උෂ්ණත්වය ආශ්‍රිත සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ජුනි මාසය තුළ පමණක් පුද්ගලයින් 1,028 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය 2017 වසරේ ජුනි මාසයේදී වාර්තා වූ මරණ 1,000ක සීමාව ද අභිබවා යාමකි.
ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය (AEMET) පෙන්වා දෙන්නේ, 1961 වසරේ සිට එරට කාලගුණ දත්ත වාර්තා කිරීම ආරම්භ කළ පසු ස්පාඤ්ඤය මුහුණ දුන් දෙවන උණුසුම්ම ජුනි මාසය මෙය බවයි.
මෙවර උණුසුම් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් අතිබහුතරය වයස්ගත පුද්ගලයන් වීම විශේෂත්වයකි.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් 1,022ක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතරින් වයස අවුරුදු 85 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ගේ මරණ 720ක් වේ.
මේ අතර, වයස අවුරුදු 15ට අඩු එක් දරුවෙකුගේ මරණයක් ද මේ හේතුවෙන් වාර්තා වී තිබේ.
