කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

July 1, 2026   05:52 pm

ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

අවලංගු කර ඇති ගමන් වාර

පස්වරු 04.00: කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රිය.

උදෑසන 05.55: අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය.

මෙම දුම්රිය ගමන් වාර දෙකම අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්තා වන අතර, එය දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

විශේෂයෙන්ම කාර්යාලීය සේවකයන් සහ දෛනික මගීන් විශාල පිරිසක් ගමන් ගන්නා මෙවැනි කාර්යබහුල වේලාවන්හි දුම්රිය අවලංගු කිරීම හේතුවෙන්, දිනෙන් දින මගී ජනතාව දැඩි පීඩාවකට සහ අපහසුතාවකට පත්වන බව ද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.