මෙරටට එල්-නිනෝ තත්ත්වය ප්‍රබල වීමේ සම්භාවිතාව ගැන අනාවරණයක්
July 1, 2026 02:10 pm
ගෝලීය එල්-නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ දැනට පවතින දත්ත අනුව මෙරටට එල්-නිනෝ තත්ත්වය ප්‍රබල වීමේ 63%ක සම්භාවිතාවක් සහ දුර්වල වීමේ 33%ක සම්භාවිතාවක් පවතින බව අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් දිවයිනට නියං හෝ අධික වැසි සහිත තත්ත්වයන් ඇති විය හැකි බැවින්, ඊට මුහුණ දීම සඳහා වන නිශ්චිත ඒකාබද්ධ වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් ලබා දී ඇත.
ගෝලීය එල්-නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ප්‍රථම වරට ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කල බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 3ක් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත.
පානීය ජල සැපයුම
වාරිමාර්ග කළමනාකරණය
බලශක්ති සුරක්ෂිතතාව
එල්-නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අර්ථකථන පැතිර යාම වැළැක්වීම සඳහා, මින් ඉදිරියට ඒ පිළිබඳ නිල ප්‍රකාශ සහ පුරෝකථන නිකුත් කිරීමේ බලය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් පැවරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත්, ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සදහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පත් කරන ලදී.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරනු ලබයි.
