තැන තැන සිදුවන මාරක අනතුරු - ජීවිත හයක් අහිමි වෙයි
July 1, 2026 11:10 am
කොළඹ - කුරුණෑගල මාර්ගයේ රංජනගම ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (30) යතුරුපැදියක් සහ බස්රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33 හා 35 යන වයස්වන පසුවන පොල්ගහවෙල ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
මේ අතර ඊයේ (30) උදෑසන මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ බල්ලපාන ප්රදේශයේදී දිවුලපිටිය දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරුව යතුරුපැදිය පෙරළී ගොස් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා හොරගස්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණකරු අවුරුදු 25ක් වූ මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කාර් රථයේ හා වෑන් රථයේ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මහව පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගම ප්රදේශයේදී පාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්රීට් කාණුවකට වැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් වෑන් රථයේ ගමන්කළ කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා මහව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මියගොස් ඇත.
අනෙක් කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත.
මරණකාරිය වයස අවුරුදු 80ක් වූ වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිකාරියකි.
මේ අතර, අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර තිසාවැව මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකාරිය හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 60ක් වූ අනුරාධපුර ප්රදේශයේ පදිංචිකාරියකි.
කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ වල්ගම ප්රදේශයේදී ඊයේ (30) අතුරුගිරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීගොස් විරුද්ධ දෙසින් පැමිණි ජීප් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 40ක් වූ පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
