ජාත්‍යන්තර දැනුමෙන් සන්නද්ධ වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන් 47ක්
June 30, 2026 10:44 pm
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් සංවිධානය කළ උසස් මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ප්‍රවීණ පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබේ.
ජූනි 22 සිට 27 දක්වා වෙළඳ බැඩ්මින්ටන් භාරකාර මණ්ඩල ක්‍රීඩාංගණයේදී පැවති මෙම දින හයක පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 47 දෙනෙකු සහභාගී වී ඇත.
ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණුවේ ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවති මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙකු වන කිම් යොං මෑන් මහතා විසිනි.
ඔහු ජපාන ජාතික බැඩ්මින්ටන් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු, කොරියානු ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සහ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ ලෝක පුහුණු මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
පාඨමාලාව තුළදී නවීන පුහුණු ක්‍රමවේද, උපායමාර්ගික සංවර්ධනය, ක්‍රීඩක සූදානම සහ උසස් තාක්ෂණික පුහුණු ක්‍රම පිළිබඳව පුහුණුකරුවන් දැනුවත් කර ඇත.
සහතික ප්රදානෝත්සවය කොළඹ ඔලිම්පික් නිවසේදී පැවැති අතර, ශ්‍රී ලංකාවේ බොට්ස්වානා ගෞරව නියෝජ්‍ය කොන්සල් ජනරාල් සහ APACS ශ්‍රී ලංකා අධ්යක්ෂ ජයසිරි සිල්වා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.
APACS ආසියා කලාපීය ප්‍රවර්ධන ප්‍රධානී පැට්‍රීෂියා ඇලෙක්සැන්ඩර් මහත්මිය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්රයේ ආරාධිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුකරුවන් 47 දෙනා වෙත APACS ආයතනයේ අනුග්‍රහයෙන් බැඩ්මින්ටන් රැකට් සහ නිල ටී-ෂර්ට් ප්රදානය කර තිබේ.
බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සඳහන් කළේ, මෙම වැඩසටහන ජාත්‍යන්තර දැනුම හා සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණු ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බවයි.
