ලක්ෂ ගණනක චීන දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට

ලක්ෂ ගණනක චීන දුම්වැටි තොගයක් කටුනායකදී රේගු භාරයට

June 30, 2026   04:45 pm

රුපියල් හැට හතර ලක්ෂ අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

අදාළ දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' ඔස්සේ පිටකර ගෙනයමින් සිටි විදේශීය ගුවන්මගීන් තිදෙනෙකු අද (30) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතර චීන ජාතික කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු සිටින අතර අනෙක් පුද්ගලයා හොංකොං ජාතිකයෙකි. 

ඔවුන් සියලුම දෙනා වයස අවුරුදු 25 සීමාවේ පසුවන ව්‍යාපාරිකයන් බව සඳහන් වෙයි.

ඔවුන් අද අලුයම 02ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , බිස්කට් අඩංගු පෙට්ටි තුළ, බිස්කට් ඉවත් කර මෙම චීනයේ නිෂ්පාදිත දුම්වැටි 42,720ක් , දුම්වැටි 20 බැගින් අඩංගු  පැකැට් 2,136 තුළ සගවාගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකර ඇත.

මේ අතර, දුම්වැටි සියල්ල රාජසන්තක කර, මොවුන් තිදෙනාට රුපියල් දෙලක්ෂ විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.