බයික් ගමන පරිස්සමින් - සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි
June 30, 2026 05:41 am
ඊයේ දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් තරුණයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරු අනුරාධපුරය, ගල්කිරියාගම, සමනලවැව සහ ගිරානේගම යන ප්රදේශවලින් වාර්තා වූ බව පොලීසිය පැවසීය.
ඊයේ අලුයම අනුරාධපුර රඹෑව මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය අසලදී රඹෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වූ කුරුන්දන්කුලම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, ඊයේ සවස ගලේවෙල කැකිරාව මාර්ගයේ කිලෝමීටර් 21 කණුව ආසන්නයේදී කැකිරාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා වෑන් රථයේ රියැදුරු තුවාල ලබා ආඩියාගල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 16 ක් වූ දේවහුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිරියාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, ඊයේ දහවල් සමනලවැව පොලිස් වසමේ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ පඹහින්න ප්රදේශයේදී බදුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් පසුපැදිකරු ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා පඹහින්න රෝහලට ඇතුළත් කරන විටත් පසුපැදිකරු මියගොස් සිට ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 37 ක් වූ බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සමනලවැව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඊයේ සවස ගිරානේගම පොලිස් වසමේ දඹුල්ල පුබ්බෝගම මාර්ගයේ ආනකටාව ප්රදේශයේදී පුබ්බෝගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ත්රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගාස් ඇත්තේ, අවුරුදු 20 ක් වූ දේවහුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ත්රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිරානේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
