දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී

දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී

June 29, 2026   07:19 am

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්නේ "දෙරණාභිවන්දනා" උත්තම පොසොන් නමස්කාරය අද (29) දවස පුරා රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී පැවැත් වේ.

සම්බුද්ධ පූජාව සහ සීල සමාදානය සමඟින් ආරම්භ වූ පෝදා වැඩසටහන සජීවීව ටීවි දෙරණින් සහ එෆ් දෙරණින් ඔබ වෙත ගෙන එනු ලබයි.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

අනුරාධපුර නගරය ආශ්‍රිතව ද විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ අතර පොසොන් සමයේ අනුරාධපුර නගරය වෙත පැමිණෙන සැදැහැවතුන්ට අපහසුතාවකින් තොරව සිය වන්දනා කටයුතු සිදුකරගැනීමට අත්වැලක් වෙමින් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මනුසත් දෙරණ හා එක්ව ඩිජිටල් මගපෙන්වීමක් සිදුකර තිබේ.

පොසොන් වන්දනා "posonvandana" ජංගම දුරකථන යෙදවුම ඔස්සේ වාහන නැවතුම් ස්ථාන පිළිබඳ තොරතුරු, දන්සැල් පවතින ස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළු තොරතුරු රැසක් සැදැහැවතුන්ට දැනගැනීමට ඉඩ සැලසේ. ( https://posonvandana.lk/ )

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ 27වනදා පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18,129ක් ලියාපදිංචි වී ඇති බවය.

එමෙන්ම අනුරාධපුර පුදබිම වෙත පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් රැසක් සූදානම්කර ඇති අතර පොසොන් කමිටුව ඉල්ලා සිටින්නේ නිසි පරිදී කසළ බැහැර කරමින් පූජා නගරය පිරිසිදුව තබාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙසය.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන සැදැහැවතුන්ට දිරන කසළ සහ නොදිරන කසළ ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ තවත් ආයතන කිහිපයක් සමඟින් අත්වැල් බැඳගනිමින් දියත් කර තිබේ.

අද (29) සහ හෙට (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් ද පොසොන් සතිය පුරා පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.