පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට ඩිජිටල් මගපෙන්වීමක්

පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට ඩිජිටල් මගපෙන්වීමක්

June 28, 2026   08:04 pm

පොසොන් සමයේ අනුරාධපුර නගරය වෙත පැමිණෙන සැදැහැවතුන්ට අපහසුතාවකින් තොරව සිය වන්දනා කටයුතු සිදුකරගැනීමට අත්වැලක් වෙමින් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මනුසත් දෙරණ හා එක්ව ඩිජිටල් මගපෙන්වීමක් සිදුකර තිබේ.

පොසොන් වන්දනා "posonvandana" ජංගම දුරකථන යෙදවුම ඔස්සේ වාහන නැවතුම් ස්ථාන පිළිබඳ තොරතුරු, දන්සැල් පවතින ස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළු තොරතුරු රැසක් සැදැහැවතුන්ට දැනගැනීමට ඉඩ සැලසේ. ( https://posonvandana.lk/ )

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18,129 ක්  ලියාපදිංචි වී ඇති බවය.

එමෙන්ම අනුරාධපුර පුදබිම වෙත පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් රැසක් සූදානම්කර ඇති අතර පොසොන් කමිටුව ඉල්ලා සිටින්නේ නිසි පරිදී කසළ බැහැර කරමින් පූජා නගරය පිරිසිදුව තබාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙසය.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන සැදැහැවතුන්ට දිරන කසළ සහ නොදිරන කසළ ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ තවත් ආයතන කිහිපයක් සමඟින් අත්වැල් බැඳගනිමින් දියත් කර තිබේ.

හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් ද පොසොන් සතිය පුරා පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

මේ අතර අරුණ පුවත්පත සංවිධාන කළ 2026 පොසොන් කලාපය මෙවර පැවැත්වෙන්නේ  මුල්කිරිගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමිනි.