'පොලිස්පතිට කියන්න' මහජන පැමිණිලි සේවාව සම්බන්ධයෙන් දැනුම්දීමක්
June 28, 2026 06:18 pm
මහජනතාවට තමන් මුහුණ දෙන යම් සිදුවීමක් හෝ පැමිණිල්ලක් සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති “පොලිස්පතිට කියන්න '' (Tell IGP) ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් 2026 වර්ෂයේදී ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇත.
මෙම සේවාව යටතේ දේශීය මෙන්ම විදේශීය ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ගේ පැමිණිලි සහ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී තිබේ.
මෙම පැමිණිලි සේවාව මඟින් මහජනතාවට දේශීයව හෝ විදේශීයව සිට පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත සෘජුවම තොරතුරු සැපයීමේ හැකියාව පවතී.
* සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු
* විවිධ අපරාධ සහ සාමාන්‍ය පැමිණිලි
* රථවාහන වැරදි සහ මහජන පීඩා
* දූෂණ ක්‍රියා සහ අක්‍රමිකතා
මෙම පද්ධතිය හරහා ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ ඊට අදාළ විමර්ශන කටයුතු, අදාළ කොට්ඨාස භාර නිලධාරීන් (Divisional Officers) මඟින් නියමිත පොලිස් ස්ථාන වෙත වහාම දැනුම් දෙනු ලැබේ. ඉන් අනතුරුව ඒ සඳහා කඩිනමින් විමර්ශන නිලධාරීන් යොමු කිරීමට ද කටයුතු යොදා ඇත.
යම් හෙයකින් තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලට නිසි යුක්ති සහගත සාධාරණයක් ඉටු නොවුණේ නම්, මෙම ක්‍රමවේදය ඔස්සේම නැවත වරක් පොලිස්පතිවරයා සෘජුවම දැනුවත් කිරීමේ හැකියාව ද මහජනතාවට සලසා දී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
මහජනතාවට http://www.police.lk නිල පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ඇති ඊ-සේවාව (E-Service) යටතේ ස්ථාපිත “පොලිස්පතිට කියන්න '' (Tell Inspector General Of Police) සේවාව තේරීමෙන් හෝ පහත ක්‍රමවේද ඔස්සේ සිය පැමිණිලි යොමු කළ හැකිය:
වෙබ් යොමුව: https://telligp.police.lk
විද්‍යුත් තැපෑල (Email): http://telligp@police.gov.lk
මහජනතාව සඳහා වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දිවයින පුරා පවතින ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48 හිම විශේෂ පුහුණුව ලත් පරිගණක ක්‍රියාකරුවන් යොදවමින් ව්‍යාප්ත කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලියම පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
