යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි

යතුරුපැදියේ වේගය වැඩි කිරීමට වැඩකෑලි දැමූ දහම්නෙත් අවසන් ගමන් යයි

June 27, 2026   04:57 pm

මකුළුදූව ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් යමින් සිටියදී  අද (27) පෙරවරුවේදී දුරකථන කණුවක ගැටි එක් අයෙකු මිය ගොස් අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 11වන වසරේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසල දහම් නෙත් හෙට්ටිආරච්චි නැමැති සිසුවාය.

අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය සහ යතුරුපැදියේ තවත් කොටස් කිහිපයක් කැඩී ‌වෙන් වී ඇතැයි පොලීසිය පවසයි.

මියගිය සිසුවා පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බවත් එහි වේගය වැඩි කිරීම සඳහා වෙනත් යතුරුපැදියක එයාර් පිල්ටරයක් සවිකර තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.

මේ අතර මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බරපතළ තුවාල ලද පසුපැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ නොසිටි ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි පසුපැදිකරු සුවසැරියේ ගිලන් රථයෙන් කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පැදිකරු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන් වෙයි.

විදේශ ගතව සිටින පියාට පෙරැත්තකිරීම හේතුවෙන් මීට මාස දෙකකට පමණ ඉහතදී මෙම යතුරුපැදිය රුපියල් 40000/= මුදලකට සිසුවාට මිලදීගෙන තිබේ. 

මව රැකියාවට ගිය අතරවාරයේදී නැගණිය පමණක් නිවසේ සිට ඇති අතර මියගිය දරුවා යතුරුපැදිය රැගෙන ඒ ආසන්නයේ නිවසක පදිංචි එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරෙකු සමග මකුළුදූව සිට ඇරැව්වල දෙසට යමින් සිටියදී එම දිසාවට ගමන් ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමටයාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය පවසයි.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.