පොසොන් දන්සල් දෙනවානම් ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න
June 27, 2026 11:17 am
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ වෙසක් පොහොයට සාපේක්ෂව දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයිද වැඩිම දන්සල් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් ලියාපදිංචි වී ඇති බවය.
මෙම දන්සල් ලබා දීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයට ගැනීමෙන් වැළකී සිටීම වැදගත් බව පෙන්වා දෙන ඒ මහතා ප්ලාස්ටික් භාවිත කර ලබා දෙන උණුසුම් පානයන්, ආහාර සම්බන්ධව විශේෂ අවධානය යොමු කර පරීක්ෂා කිරීම් සිදුකරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් තුළ ගබඩා කිරීම ඉතාමත් අවදානම් බවත් මේ සම්බන්ධව වැඩි අවධානයක් ගෙන කටයුතු කරන ලෙසත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම මේදිනවල ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පවතින බැවින් දන්සල් සඳහා පොලිතින් භාවිතය මේ සඳහා සෘජු බලපෑමක් එල්ල කිරීමට හැකි බවත් පෙන්වා දුන් ඒ මහතා දන්සල් ලබා දීමේදි ප්ලාස්ටික් සහ පොලිතින් සම්බන්ධව වැඩි අවධානයක් ගෙන කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
"අපි කලින් අවස්ථාවලදි දැකලා තියෙනවා විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග ලබා දීමේදී භාවිතා කරන කප් හැමතැනම විසිරෙන ආකාරයට බැහැර කරනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද මේ විසිරෙන භාජනවලින් ඩෙංගු මදුරුවන් ඇතිවීමේ අවධානමක් තියෙනවා."
