එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා තවත් 1132ක්
June 26, 2026 04:04 pm
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් තවත් 1132ක භට පිරිසක් පිටත්ව යාමට නියමිතව තිබේ.
ඊට විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43 දෙනෙකු මීට ඇතුළත් වේ.
මීට අමතරව, සන්නද්ධ රථ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශය වෙතින් ලබා දුන් විශේෂ වෙඩි නොවදින රථ 02ක්ද මෙම බළඇණිය වෙත ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ වන විට හයිටි රාජ්‍යයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සමනය කර එරට තුළ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් එළැඹෙන අගෝස්තු මාසයේදී මෙම කණ්ඩායම හයිටි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට නියමිතව ඇත.
මෙම පිරිසට සුබපැතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පෙරවරුවේ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට එක්ව සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වීමත් විශේෂත්වයකි.
ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
