භාණ්ඩ ගෙන්වන මුවාවෙන් ඩොලර් පැන්නූ ව්‍යාපාරිකයා

භාණ්ඩ ගෙන්වන මුවාවෙන් ඩොලර් පැන්නූ ව්‍යාපාරිකයා

June 26, 2026   10:37 am

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් මෙරට ලියාපදිංචි සමාගම් 89ක්, රුපියල් බිලියන 190කට වැඩි මුදලක් අමෙරිකානු ඩොලර් ලෙස රටින් පිටට ප්‍රේෂණය කළද කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (25) අනාවරණය විය.

මෙම වංචාවට අදාළව පසුගියදා අත්අඩංගුවට ගැනුණු සැකකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගැනීමට හැකිව ඇත.

මෙම ජාවාරමක් සම්බන්ධයෙන් ජෙෆ්රි මොහොමඩ් නැමැත්තකු පසුගියදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ගෙන තිබූ අතර, ප්‍රශ්න කිරීම්වලින් පසු ‍කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට එලෙස ඉදිරිපත් කෙරුණි.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, Next Gen නමැති ආයතනයක් හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් ක්‍රමවේදය ඔස්සේ රුපියල් බිලියන ගණනක මුදල් අමෙරිකානු ඩොලර් ලෙස රටින් බැහැර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පළමුව විමර්ශනයක් ආරම්භ කළ බවය.

පසුව ඉන් අනාවරණය වූ කරුණු මත වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී මෙරට ලියාපදිංචි සමාගම් 89ක් මෙම ජාවාරම ඔස්සේ රුපියල් බිලියන 190කට වැඩි මුදලක්, අමෙරිකානු ඩොලර් ලෙස රටින් පිටට ප්‍රේෂණය කර ඇති බවත්, භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් මෙම මුදල් ප්‍රේෂණය කළද කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වූ බවත් කියා සිටියේය.

පසුව අදාළ ලියාපදිංචි සමාගම් 89න් 36ක් පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කළ බවද, එහිදී පුද්ගලයන් කිහිපදෙනෙකු වංචනික ලෙස හිමිකරුවන් ලෙස පෙන්වා අදාළ සමාගම් හා ගිණුම් ආරම්භ කර ඇති බව අනාවරණය වූ බවත් ඔස්වල්ඩ් පෙරේරා මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම සමාගම් නමින් පමණක් අවස්ථා 10,151කදී දළ වශයෙන් රුපියල් බිලියන 75ක මුදලක් අමෙරිකානු ඩොලර් ලෙස මෙරටින් පිටතට ප්‍රේෂණය වී ඇති බවය.

එසේම මෙම අනීතික ක්‍රියාවලිය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති විරෝධීව ඉපයූ මුදල් විශුද්ධිකරණය කර ඇති බව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ යැයි රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර මෑතකදී මීගමුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී, වැලි චන්දන නැමැත්තකුගේ නමින් ඇති ගිණුමකින් 'කොණ්ඩ රංජි' නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල් ඒ.වයි. ඉන්වෙස්මන්ට් නැමැති සමාගමක ගිණුමකට බැරවී ඇති බව අනාවරණය වූ බවද පැවසීය.

අදාළ ඒ.වයි. ඉන්වෙස්මන්ට් නැමැති සමාගම හරහා රුපියල් මිලියන 6ක මුදලක් අමෙරිකානු ඩොලර් ලෙස රටින් පිටට ප්‍රේෂණය වී ඇති බව රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම සමාගමේ හිමිකරු ලෙස ක්‍රියාකර ඇත්තේ අත්අඩංගුවට ගැණුනු ජෙෆ්රි මොහොමඩ් නැමැති මෙම සැකකරු බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද ඔහු සන්තකයේ රුපියල් මිලියනයක මුදලක් තිබූ බවත් ඔස්වල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරු ජුලි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.