ධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි
June 26, 2026 06:42 am
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වෙන බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.
එහිදී නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ධනංජය ද සිල්වා, පන්දු 168කදී හතරේ පහර 17ක් සමගින් ලකුණු 120ක් රැස් කළේය.
මෙය ධනංජයගේ 12 වැනි ටෙස්ට් ශතකය වන අතර, එය ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කළ දෙවැනි ශතකය මෙන්ම කොදෙව් දූපත්වලදී රැස්කළ පළමු ටෙස්ට් ශතකය ලෙසද වාර්තා පොත්වලට එකතු විය.
එමෙන්ම මෙය 2024 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් ලබා ගැනීමෙන් පසු, ඉනිම් 22ක නිහඬතාව බිඳදමමින් ඔහු වාර්තා කළ පළමු ශතකය වීමද විශේෂත්වයකි.
මෙම ඉනිමේදී ධනංජයට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ ලකුණු 43ක් රැස් කරමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් පැවැත්වූහ.
ඉන් අනතුරුව පිටියට පිවිසි මිලාන් රත්නායක, ධනංජය සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟීය.
මේ අතර ශ්‍රී ලංකා ඉනිම නිමාවීමෙන් පසු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම එක් පන්දුවාරයකට මුහුණ දී සිටියේය.
