හෙද හෙදියන් 2,847කට ඔක්තෝබරයේ පත්වීම්
June 25, 2026 06:38 pm
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී හෙද හෙදියන් 2,847 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් සඳහා හිස්වැසුම් පැලදවීම සහ සේවයට කැපවීම සංකේතවත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
එම උත්සවය අද (25) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණි.
එමෙන්ම 2028 මාර්තු මාසයේදී 1,949 දෙනෙකුටත්, අගෝස්තු මාසයේදී 2,920 දෙනෙකුටත් හෙද පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
2030 වසර වන විට හෙද සේවාව සඳහා 13,600 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, එම ඉලක්කයෙන් 50%ක් මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
හෙද සේවාවට ඇතුළත් වන සියලුදෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන හෙද විදුහල් සංවර්ධනය කිරීමටද කටයුතු කරන බවද ඔහු පැවසීය.
හෙද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මේ වන විට සැලසුම් කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමේදී හෙද සේවාව ඉතා වැදගත් බවත්, එය ගෞරවනීය වෘත්තියක් බවත් ඔහු අවධාරණය කළේය.
මෙම උත්සවයේදී පළමු වසරේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු හෙද හෙදියන්ට සම්මාන ද ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා, හෙද අධ්යක්ෂවරුන්, හෙද සභාවේ සභාපති, කොළඹ හෙද විදුහලේ විදුහල්පති ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්, සිසු හෙද හෙදියන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.
