ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
June 25, 2026 05:10 pm
ශ්‍රී ලංකාවේ සියලුම ඉඩම් ජාලගත කිරීමේ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, රටේ ඉඩම් තොරතුරු ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
මෙතෙක් ක්‍රියාත්මක වූ ඉඩම් ඔප්පු ලබා ගැනීම, පත්ඉරු ලබා ගැනීම සහ රජයේ ඉඩම් ආයෝජකයින් වෙත හඳුන්වාදීම වැනි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙම ඉඩම් ජාලගත කිරීම වැදගත් පියවරක් වන බව මෙහිදී සඳහන් විය.
දැනට පවතින රජයේ දත්ත පද්ධති සමඟ නව ඉඩම් ජාලගත කිරීමේ පද්ධතිය ඒකාබද්ධ කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
රජය සතු ඉඩම් හැකි ඉක්මනින් ආයෝජන අවස්ථා සඳහා යොමු කර ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ඉඩම් සිතියම්ගත කිරීමේ තොරතුරු නව දත්ත පද්ධතියට ඇතුළත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම වසර තුළ ව්‍යාපෘතිය අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට හැකි වන පරිදි කටයුතු කරන ලෙස අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අතිරේක ලේකම්වරුන් කිහිපදෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
