තරුණියක් සියදිවි නසාගැනීමේ සිද්ධියට විවෘත තීන්දුවක්

තරුණියක් සියදිවි නසාගැනීමේ සිද්ධියට විවෘත තීන්දුවක්

June 22, 2026   05:55 pm

​කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළදී වයස අවුරුදු 23ක තරුණියක් ගෙල වැලලාගෙන මියයෑමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය ඊයේ (21) පස්වරුවේ මහනුවර ජාතික රෝහලේදී පවත්වනු ලැබීය.

​එහිදී මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකරමින් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මරණයට හේතුව විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

​මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මියගිය තරුණියගේ දේහය අවසන් ගෞරවය සඳහා දිගන, අළුත්වත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක තැන්පත් කර ඇත. 

​මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඥාතියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් පරීක්ෂණවල ස්වභාවය පිළිබඳව දැඩි බලපෑමක් ඇති බවයි.

​"මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන පරීක්ෂණ කටයුතු ඉතාමත් ඒකපාර්ශ්විකයි. මේ සිදුවීමෙන් මියගිය අපේ දරුවාට බලවත් අසාධාරණයක් සිදුවීමට ලොකු ඉඩකඩක් තිබෙනවා කියලා අපට සැකයක් මතු වෙනවා"

​කෙසේ වෙතත්, මෙම තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ කුණ්ඩසාලේ, බලගොල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.