පොලීසියෙන් සැඟව සිටි "ටික්කා" අත්අඩංගුවට
June 22, 2026 10:41 am
නාවලපිටිය රඹුක්පිටිය, කැන්දෝපිටිය, වැලිගම්පොල ඇතුළු ප්‍රදේශ රැසක නිවාස බිඳ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසිය පවසයි.
නාවලපිටිය කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙකු වන මහේෂ් මදුසංක නොහොත් “ටික්කා” නමැති සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත්, මත්ද්‍රව්‍ය අලෙවිය සහ ගෙවල් බිඳුම් ඇතුළු වැරදි සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අයෙකු බවත්ය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 2026 ජනවාරි 22 වැනිදා ඇප මත නිදහස්ව පැමිණීමෙන් පසු සැකකරු විසින් නිවාස 08ක් බිඳ රුපියල් ලක්ෂ 35කට ආසන්න රන් භාණ්ඩ, රුපියල් 40,000කට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන 04ක් සොරාගෙන ඇති බවයි.
නාවලපිටිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරාගත් රන් භාණ්ඩ සැකකරුගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී සොයාගෙන තිබේ.
සැකකරු පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සොරාගත් මුදල් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා භාවිත කළ බවත්, අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු නිවාස බිඳ මුදල් ලබා ගැනීමේ සිතුවිලි ඇතිවන බවත්ය.
රාජකාරී සඳහා නිවෙස්වලින් බැහැර වන ගුරුවරුන්, බැංකු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වැනි පුද්ගලයන්ගේ නිවාස පිළිබඳ අවධානය යොමු කර මෙම සොරකම් සිදුකර ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
