ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි 

ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි 

June 19, 2026   06:47 pm

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විධිමත්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 

ඒ මහතා පෙන්වා දෙන්නේ, කොළඹ වාණිජ මහාධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිට පාර්ලිමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන සමග එක්වෙමින් වඩාත් විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක බවය. 

"2026 මාර්තු 23 වෙනිදා මෙය දැනගත් වහාම අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන්න කමිටුවක් පත් කළා. ඒ වගේම පසුදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පරීක්ෂණ කරන්න කියලා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. 

2026 අප්‍රේල් පළමුවෙනිදා ශ්‍රී ලංකා මහබැංකුවේ තියෙන මූල්‍ය බුද්ධි ඒකකයට මේ සිද්ධිය ගැන වාර්තා කරනවා. අභ්‍යන්තර කමිටු වාර්තාව 2026 අප්‍රේල් 10 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම්වරයාට ලබා දෙනවා. 

එය අධ්‍යයනය කරන අප්‍රේල්  17 වෙනිදා බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙත් නිලධාරින් දෙදෙනා බැගින් හතර දෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට ලක් කරනවා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට මේ සිද්ධියේ බී වාර්තාව කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කරන බව අපිට දැනගන්නට ලැබෙනවා. 

ඊට පස්සේ මේ පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටුවට වාර්තා වුණේ නැහැ කියලා සහ වාර්තාවක් ඉල්ලා සිටියා. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මාසයක් ඇතුළත ඒ වාර්තාව ලබා දෙන බව දැනුම්දුන්නා. 

ඒ අනුව ඒ වාර්තාව ලබා දෙනවා මැයි  මාසයේ පස්වෙනිදා. ඊට පස්සේ මැයි හයවෙනිදා අලුත්ම තත්ත්වය පිළිබඳව විගණකාධිපතිවරයාටත් වාර්තාව ලබා දෙනවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තිබෙනවා. 

ඉදිරියටත් අපිට කුමක්ද කළ යුතු වන්නේ පිළිබඳව තීරණය කරන්න, මේවා ආවරණය කරගන්න පුළුවන් ද.? කවුද වැරදිකරු වෙන්නේ.? 

මොනවාද සිද්ධ වෙලා තියෙන්නේ, කියන එක ගැන අවසානය ළඟා කරගන්න දේශීය මට්ටමේ පරීක්ෂණත්, අදාළ ආයතනවල මැදිහත්වීමේ තොරතුරු එක්රැස් කිරීමත් ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන කරන පරීක්ෂණවලත් ප්‍රතිඵලය එනකම් ඉන්න වෙනවා. මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි."