අත්අඩංගුවට ගත් සුගීෂ්වර අධිකරණයට
June 18, 2026 05:31 pm
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා කොටුව මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ වනවිට ඔහුව අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අද (18) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවේ, රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.
ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයකදී සුගීෂ්වර බණ්ඩාර මහතා 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස සිටිමින් සහ එම කාල වකවානුවේ තුළ එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බවට අනාවරණ විය.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති වැය ශීර්ෂය යටතේ ඔහු තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (18) කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.
සැකකරු අදාළ තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
