උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට ස්ථිර පත්වීම්
June 18, 2026 04:56 pm
පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1,955ක් බඳවාගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකුට අද (18) ස්ථීර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
එමෙන්ම ලබන මස පළමු දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමට නියමිතව ඇති අතර ඒ සමඟ සමග එම සම්පූර්ණ ප්‍රමාණය 2,258ක් වන බව අමාත්‍යවරයා කියාසිටියේය.
2019 වසරේ පමණ සිට වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ එම නිලධාරීන් ස්ථිර කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුගිය ඔක්තෝබර් මස 15 වෙනිදා අනුමැතිය හිමිවිය.
ඒ අනුව එම දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරන ලද වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකුට මෙලෙස ස්ථීර පත්වීම් පිරිනැමීම සිදු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
