තෙල්දෙණියේ අබිරහස් කාන්තා මරණය ගැන හෝඩුවාවක්

තෙල්දෙණියේ අබිරහස් කාන්තා මරණය ගැන හෝඩුවාවක්

June 18, 2026   08:52 am

තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නාඳුනන පුද්ගලයෙකු විසින් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලද දුරකථන ඇමතුමකට විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (17) සවස මෙම මළ සිරුර හමුව තිබූ අතර, මෙම කාන්තාව ජූනි 03 වන දින සිට ජුනි 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ.

මේ අතර, තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත මෙම මෘත ශරීරය පිළිබඳව දැනුම්දීම සිදුකර ඇත්තේ, මියගිය කාන්තාවගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින් බවට ද සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 33ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නොඑසේනම් වෙනත් ආකාරයකින් සිදුවූ මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබය.

මේ අතර, නුවරඑළියේ හෝටලයක් තුළින් මෙම මියගිය කාන්තාව, පෙම්වතා යැයි සැක කෙරෙන පිරිමි පුද්ගලයා විසින් උස්සාගෙන ඉන් පිටතට රැගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.