පාතාල කල්ලි සාමාජික සමන් කොල්ලාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට
June 16, 2026 07:18 pm
ප්‍රබල පාතාල සාමාජිකයෙකු බව කියන සමන් කොල්ලා නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පාසල් සිසුවා ඊයේ (15) රාත්‍රියේදී අම්බලන්ගොඩ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව එම අවස්ථාවේදී ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර සිසුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සමන් කොල්ලා නැමැත්තා සමග කළ සංවාද සහ ඔහු මීට පෙර ලබා දුන් උපදෙස් පරිදී මත් ද්‍රව්‍ය පැකට් සැඟවූ ස්ථාන රැසක් සම්බන්ධ ගමන් මාර්ග නිරීක්ෂණය වූ බව පොලීසිය සඳහන් කළේය.
පොලීසියට ලද නිර්ණාමිත තොරතුරකට අනුව මෙම පාසල් සිසුවා පරීක්ෂාවට ලක් කළ බවද පොලීසිය පැවසීය.
සැකකාර සිසුවා මෙම මත්ද්‍රව්‍ය තොගය තමා සන්තකයේ තබා ගෙන සමන් කොල්ලා නැමැත්තාගේ උපදෙස් පරිදි ජංගම දුරකථනය ලැබෙන ගමන් මාර්ග ඔස්සේ මත් කුඩු සඟවා ඇති බවටද පොලීසියට අනාවරණය වී තිබේ.
පොලීසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර සිසුවා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක 10 වසරේ ඉගෙනුම ලබන බවය.
ඔහු අද (16) දහවල් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ෂන සිදුකරති.
