ඩෙංගු කීටයින් බෝවීම වැඩිම පාසල් පද්ධති ආශ්‍රිතව - ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්

ඩෙංගු කීටයින් බෝවීම වැඩිම පාසල් පද්ධති ආශ්‍රිතව - ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්

June 16, 2026   03:13 pm

මේ දක්වා සිදුකළ ඩෙංගු පරීක්ෂාවේදී පාසල් ආශ්‍රිතව ඩෙංගු කීටයින් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ පරීක්ෂාවේදී එය 41%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වී ඇති බවය.

මීට අමතරව ආගමික ස්ථාන 28%ක් කර්මාන්ත ආශ්‍රිතව 26%ක් ආදී ලෙස ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා දිස්ත්‍රික්ක 14ක මෙම ප්‍රශ්නය බරපතළ ලෙස පැන නැගී ඇති බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා සියලු පාර්ශ්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රටක් ලෙස එකවර මේ සඳහා මැදිහත් වන්නේ නම් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැකි බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, 

"අවධානය යොමු කළ යුතුයි අපි පරීක්ෂා කරපු තැන්වලින් පාසල් පද්ධති 41%ක් පමණ ඩෙංගු කීටයින් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ආගමික ස්ථාන ආශ්‍රිතව 28%ක් හඳුනාගෙන තිබෙනවා. කර්මාන්ත ආශ්‍රිතව 26%ක් හඳුනාගෙන තිබෙනවා. මේ ආදි හැටියට ටිකක් මදුරුවන් බෝවීම වැඩිතැන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂාවට අදාළව නිරන්තර අවධානය යොමු කරමින් එම ස්ථාන පිරිසිදු කරවීම සඳහා ජනතාව උනන්දු කරවනවා. මේ වන විට රට පුරාම විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 14ක මේ ප්‍රශ්නය බරපතළව පැන නැගී තිබෙන්නේ. බස්නාහිර පලාත, දකුණු පලාත, මධ්‍යම පලාතේ නුවර සහ මාතලේ, බදුල්ල, මඩකලපුව, වයඹ පළාතේ දිස්ත්‍රිකක දෙකක සහ සබරගමුවේ දිස්ත්‍රික්ක දෙකම සංඛ්‍යාව වැඩි වෙලා තිබෙන්නේ.... පිරිසිදු කිරීම් අඛණ්ඩව යනවා රටක් හැටියට අපි එකවර මේකට මැදිහත් වුණොත් තමයි මේක සාර්ථක වෙන්නේ."