දිට්වා ආපදාවෙන් හානි වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමට රු. මිලියන 129ක්
June 16, 2026 02:06 pm
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ පූජනීය ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ තවත් පූජනීය ස්ථාන 90ක් ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ අංක 01/2026 දරන චක්‍රලේඛ විධිවිධාන යටතේ රුපියල් මිලියන 129.69ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් ඇතුළු පූජනීය ස්ථාන රැසක් හානියට පත්ව ඇති බව වාර්තා වී තිබේ.
2026 අප්‍රේල් 27 වන දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වෙන් කළ රුපියල් මිලියන 200ක මුදල ඇතුළුව බුද්ධශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අනගාරික ධර්මපාල පදනම මඟින් යොදවන ලද රුපියල් මිලියන 800ක අරමුදල් භාවිත කරමින් මේ වන විට පූජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
ඉතිරි හානියට පත් පූජනීය ස්ථාන අතරින් තවත් ස්ථාන 90ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ යෝජනාව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
