පාසල්, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් ස්ථාන අතරට

පාසල්, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් ස්ථාන අතරට

June 16, 2026   11:55 am

ඇතැම් පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් තත්ත්වයට ලක්ව ඇති ස්ථාන බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

එබැවින් ඒ සඳහා සියලුදෙනාගේම අවධානය යොමුකළ යුතු බවත් හැකි උපරිමයෙන් ඩෙංගු මර්ධනයට කටයුතු කරමින් එම ස්ථාන අධි අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණ කරයි.

මහරගම නගරසභා බල ප්‍රදේශයේ ජාතික ඩෙංගු මර්ධන සතියේ සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව නගර මධ්‍යයේදී අද (16) සිදුකෙරුණි.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

"මේක ඉතාමත්ම වැදගත් වැඩක් අපි අද මේ ආරම්භ කරන්න යන්නේ. සියලු දෙනාම දන්නවා අපේ ප්‍රාදේශීය ලේකම්තුමියත් කිව්ව විදිහට මේ වෙනකොට අපේ රටේ ඩෙංගු අවදානම වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් අධි අවදානම් කලාපයක් හැටියට සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් නම් කරලා තියෙනවා. ඒ අතරත් මහරගම නගරයේ අවදානම වැඩියි කියන එක අපි ගිය සතියෙත් ඩෙංගු මර්දන කමිටුව රැස්වුණ වෙලාවේ අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් දැනුම් දුන්නා. මේ පාරත් තියෙන විශේෂත්වය තමයි ඒ දත්ත අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරිපත් කරපු දත්ත අනුව අවදානම් වැඩි ප්‍රදේශ හැටියට සොයාගෙන තියෙන්නේ පාසල් ඒ වගේම ආයතන, රජයේ ආයතන, පුද්ගලික ආයතන සහ අපේ ප්‍රදේශයේ තියෙන වෙන පොදු ස්ථානවල තමා මේ අවදානම වැඩියි කියලා අපිට සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ."

"ඉතින් ඒ නිස අපි රජයක් හැටියට තීරණය කරේ ඩෙංගු මර්දන සතියක් නම් කරලා ඒ සතිය තුල අපි සියලුදෙනාම එකතු වෙලා මේ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කළ යුතුයි කියලා. අපිට අපේ ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපය කියන ඒ ලේබල් එක අපි ගලවගමු."

"එතනින් අපි අඩු අවදානම් තැනකට කොළඹ දිස්ත්‍රික්කය පත්කරගමු. මහරගම නගරය අපි පත්කරගමු. මම හිතන්නේ සියලුදෙනා එකතු කරගත්තොත් අපිට මේකත් කරගන්න පුළුවන්. මේක, මේ සතියක වැඩක් නෙවෙයි. මේක අපි මේ කාලය පුරාම කරන්න ඕන දෙයක්. මේ සතියේ අපි විශේෂ කරගෙන තියෙන්නේ විශේෂ මෙහෙයුමක් හැටියට. මුළු රට තුලම අපි ඒක කරනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ සතියේ අපි විශේෂිත කරගෙන. නමුත් මේ කාලය තුලම අපි මේ වෙනුවෙන් මැදිහත් වෙමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහට පරිසර පොලීසියත් සක්‍රීය කරමු.  හරියට කරගන්න පොලීසියේ සහය ඇතුව කර ගමු."

වැඩසටහනෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය කොට්ටාව බස් නැවතුම්පොළද නිරීක්ෂණය කළාය.

දිවයිනේ ප්‍රදේශ රැසක ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ඇරඹි ඩෙංගු මර්දන සතියේ දෙවැනි දිනය අදයි (16). 

අද දිනයේත් ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ දේශපාලන නියෝජිතයින් මෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනි.

මීට සමගාමීව ඩෙංගු මර්දන වැඩසටහන් සතියකට සීමානොකර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.