අධි අවදානම් වී ඇති ඩෙංගු මැඩලන්න අද සිට සතියක්
June 15, 2026 08:28 am
මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (15) සිට ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
එය එළැඹෙන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව අද සිට 17 වනදා දක්වා නගර, කානු පද්ධති වෙළද සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම 18 වනදා පාසල් පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපනික ආයතන සහ ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීමට සැලසුම් කර ඇත.
සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ කර්මාන්ත ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම 19 වනදා නම් කර ඇති අතර පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම 20 වනදා සිදු කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය,
"දිවයින පුරා ඩෙංගු රෝගීන් 41,144දෙනෙක් සහ මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, රත්නපුර, කළුතර, ගාල්ල, නුවර දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. සහ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 89ක් හඳුනාගෙන තියෙනවා. දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟම දිවයින පුරාම මදුරු කීට ඝනත්වය වැඩිවෙලා තිබෙන බව අපිට කීට විද්‍යා සමීක්ෂණවලින් දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගය අඩු කර ගැනීමට නම් ඔබගේ සහය අවශ්‍ය වෙනවා මේ වෙලාවේ. තමන්ගේ පරිසරයේ තියෙන මදුරුවන් බෝවිය හැකි ස්ථාන පුළුවන් තරම් ඉවත් කරගෙන අපිට මේ මදුරු මර්ධනයට සහය දෙන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."
