එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ අවමයි

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ අවමයි

June 14, 2026   02:44 pm

ගෝලීය වශයෙන් ඇතිවන එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇති වීමේ ඉඩකඩ ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරනුයේ පැසිපික් සාගරයේ නිවර්තන කලාපයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් ගෝලීය වශයෙන් ඇතිවන මෙම තත්ත්වය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම එළැඹෙන පෙබරවාරි මාසයෙන් පසුව ඇති විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් මේ වන විට පුරෝකථනය කර ඇති බවය.

ශ්‍රි ලංකාවට මේ වන විට නිරිත දිග මෝසම් වැසි ලැබෙමින් පවතින අතර එය සැප්තැම්බර් දක්වා පවතිනු ඇති බව පැවසූ ඒ මහතා එළැඹෙන ජූලි සහ අගෝස්තු මාස දෙකෙහි විටින් විට වැසි ඇති විය හැකි නමුත් පොදුවේ මෝසම් වර්ෂාව අඩුවන බවද සඳහන් කළේය.

එමෙන්ම දෙවැනි අන්තර් මෝසම් වැසි ඔක්තෝම්බර් - නොවැම්බර් කාලවල ඇති වන බවත් එහිදී තරමක් ලොකු වර්ෂාපතනයක් ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා ඉන් අනතුරුව ඊසාන මෝසම් වැසි ආරම්භ වී එය එළැඹෙන පෙබරවාරි දක්වා පවතිනු ඇති බවද පැවසීය.

ඉන් පසුව පළවෙනි අන්තර් මෝසම් වැසි සමය මාර්තු - අප්‍රේල් කාලසීමාවේදී ආරම්භ වන බැවින් මෙරටට වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ ඊසාන මෝසම් වැසි තුළින් බවද සඳහන් කළේය.

ජූලි - අගෝස්තු යම් වියලි කාලගුණයක් දක්නට ලැබෙන බවත් එල්-නිනෝ බලපෑමක් ඇති වුවවහොත් එය නිරිත දිග මෝසම් වැසිවලට හෝ අතරමැදි නොවැම්බර් මාසවල ලැබෙන වැසිවලට වඩා වැඩි බලපෑමක් ඇති කරනුයේ ඊසාන වැසි තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා එළැඹෙන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල උෂ්ණත්වය ඉහළ යාම ඇතිවිය හැකි බව මේ වන විට පුරෝකථනය කර ඇති බවත් පැවසීය.

කෙසේ නමුත් පැසිෆික් සාගරයේ සිදුවන මෙම ගෝලීය කාලගුණික තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති බැවින් ඉන්දියන් සාගරයේ ඇති ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්‍ත්‍රණය මගින් මෙහි බටහිර ප්‍රදේශයන් හී උණුසුම ඉහළ යාමෙන් දේශගුණික විපර්යාසයක් සිදුවුවද මෙරට රට මැද කඳුකරය ප්‍රදේශයක් පැවතීම සහ ශ්‍රී ලංකාව දූපතක් බැවින් රට මුහුදෙන් වටවීම හේතුවෙන් ජල වාශ්පවල අඩුවීමක් සිදුවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් මෙරටට දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ අඩු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා,

"පැසිෆික් සාගරයේ ඒ සිදුවන ගෝලීය කාලගුණික තත්ත්වය කෙසේ වෙතත් ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන නිසා ඉන්දියන් සාගරයේ තිබෙනවා ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්ත්‍රණය කියලා එකක්. එකෙදි වෙන්නේ ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශවල උණුසුම වැඩි වෙනවා, උණුසුම වැඩි වෙනකොට මුහුදු ජලය වාශ්ප වෙනවා. මුහුදු ජලය වාශ්ප වෙනකොට ඉහළ යන ප්‍රවාහ ධාරා නිසා ජල වාශ්පවලින් වලාකුළු හැදිලා ලංකාවේ භූ විශමතාවය අනුව රට මැද කඳුකරය තියෙනවා සුළං හමාගෙන ඇවිල්ලා කඳුකරය ආශ්‍රිතව සීතල වෙලා වලාකුළු හැදිලා වහිනවා. ඒ කටයුතු නිසා, ලංකාව දූපතක් නිසාත්, රට මැද කඳුකරයක් තියෙන නිසාත් රට වටේ ලොකු සාගරයක් තියෙන නිසාත් අපිට ජල වාශ්ප හිඟ වීමක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අපිට වර්ෂාව අඩුවෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති නොවේවි කියලා තමයි අපිට පේන්නේ. දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ දෙසැම්බර් පහුවෙලා ජනවාරි, පෙබරවාරි කියන කාලවලදි. මොන විදිහේ තත්ත්වයක් ආවත් පෙර සූදානම ඉතා වැදගත් ඒනිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, දරුණු එල්-නිනෝ තතත්වයක් ඇති වුණොත් ආහාර හිඟයක් ඇති වීම, අපි බලාපොරොත්තු වෙන අස්වනු අපිට බෝග වගාවෙන් බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. වී අස්වනු අඩු වෙන්න පුළුවන්. යම් හෙයකින් අපිට මෙහි බලපෑමක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා සූදානම් වීමත් වැදගත්"