මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්

මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්

June 14, 2026   10:57 am

මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව විමසිලිමත්බවින් සිටිය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය, සහ මෙනින්ජයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවය.

ඒ අනුව මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව දැනුවත්ව මෙම රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට පියවර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී ඩෙංගු රෝගය සැළකීමේදී එය මාරාන්තික රෝගයක් බවත් උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව මෙන්ම වමනය සහ බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බවත් දවස් 2කට වඩා උණ රෝගය පවතින්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත්වන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය සැළකීමේදී ද උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගය පවතින්නේ නම් දරුවන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන ලෙසත් දන්වා සිටියේය.

එමෙන්ම මෙම රෝගය පවතින්නේ නම් දරුවන් විවේක ගැන්වීම වඩාත් සුදුසු බව පෙන්වා දුන් වෛද්‍යවරයා දරුවන් පාසල් හෝ පෙර පාසල්, දිවා සුරැකුම් සඳහා යොමු කිරීමේදී මුඛ ආවරණ පළඳවන ලෙසත් දැනුවත් කළේය. එමෙන්ම එමගින් අනෙකුත් පාර්ශ්වයන්ට රෝගය බෝවීම පාලනය කරගත හැකි බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තවද මේ දිනවල දරුවන් අතර අත් පා සහ මුඛ රෝගය පැතිර යාමද දක්නට ලැබෙන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රෝගයේ රෝග ලක්ෂණ ලෙස පාද, වැලමිට, මුඛය ආශ්‍රිතව රතු ලප මෙන්ම ඇතැම් විට සුදු වතුර සහිත බිබිලි ඇති විය හැකි බවද සඳහන් කළේය.

මෙම රෝගයට හේතුව කොක්ටසීස් නම් වෛරසය බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගය රෝගී දරුවෙකු තවත් දරුවෙකුගේ ශරීරයේ ගැටුණු පසු එම දරුවාට බෝවන බවත් පෙන්වා දුන්නේය.

එම නිසා මෙම රෝග ලක්ෂණ තිබෙන දරුවන් දින 3-4ක් නිවසේ තබා ගන්නා ලෙසත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන් වෙත දැනුම්දීමක්ද සිදු කළේය.

මේ අතර මෙම දිනවල දරුවන් අතර මෙනින්ජයිටීස් රෝගය පැතිර යාමක් ද වාර්තා වන බවත් මීට හේතුව වෛරසයක බලපෑමක් බවත් පෙන්වා දුන් වෛද්‍යවරයා මෙහි රෝග ලක්ෂණ ලෙස උණ සමග හිසරදය, වමනය, විදුලි එළියක් හෝ යම් එළියක් දෙස බැලීමේ අපහසුව මෙන්ම ඇතැම් විට ශබ්ද ඇසීමට පවා අකමැති වීම, ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණද පෙන්නුම් කරන බවද මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම රෝගය ආහාර මාර්ගය සහ ශ්වසන මාර්ගය මගින් බෝවීම සිදුවන බවත් මෙම රෝගය පැතිරීම අවම කර ගැනීම සඳහා පිරිසිදු ආහාර, උණුකර නිවා ගත් ජලය පානය කිරීම, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතීනම් මුඛ ආවරණ පැළඳීම සුදුසු වන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.