ලබන වසරේ ප්‍රාග්ධන වියදම්වලට රුපියල් බිලියන 2000ක්
June 13, 2026 04:33 pm
ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට අද (13) එක්වෙමිනි.
මේ වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 350ක් පමණ යොදවා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වසර තුළදී පළාත් සභාවේ සහ මධ්‍යම ආණ්ඩුවේ මුදල් යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 550ක ව්‍යාපෘති අනුමත කර ඇත.
ඊට අමතරව පාලම් බෝක්කු සංවර්ධනයට තවත් රුපියල් මිලියන 100ක් ලබා දී ඇති බව ද අමාත්‍ය නලින්දන් ජයතිස්ස මහතා මෙහි දී පැවසීය.
එමෙන්ම සමස්තයක් ලෙස සැළකූ විට කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත මාර්ග සහ ඒ ආශ්රිත සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 200 වෙන්වන බව අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කරනු ලැබීය.
මේ අතර 2025 සහ 2026 වසරවලදී රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බවද ගෙවී ගිය වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,500 ක් බව ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ගෙවුණු වසරේ මෙරට ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කළ බවත්, රටේ විදෙස් ප්‍රේෂණ ඉහළ ගොස් තිබෙන බවත්, සංචාරක ව්‍යාපාරය ද දියුණු තත්ත්වයට පත් වෙමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
