නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
June 13, 2026 01:59 pm
හතිය ආශ්‍රීත රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් යළි නිවසට පැමිණීමෙන් පසුව මියයෑමේ සිදුවීමක් මහනුවර, යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, යටිනුවර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කේ.ඒ. නන්දනී කලන්සූරිය නමැති කාන්තාවකි.
ඇය සිය රෝගී තත්ත්වයට වසර 20කට අධික කාලයක සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, වෛද්‍යවරුන් 2005 වර්ෂයේදී නිර්දේශ කර ඇත්තේ ඇමොක්සලීන් ඖෂධය ඇයට ආසාත්මික බවටය.
ඉකුත් 5 වැනිදා අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය පේරාදේණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුගිය 10 වැනිදා නැවත සුවය ලබා නිවසට පැමිණ තිබේ.
එහිදී නන්දනී මහත්මියට නිවසේදී භාවිත කිරීම සඳහා රෝහලෙන් ඖෂධ නිකුත් කර ඇති අතර, ඥාතීන් චෝදනා කරන්නේ ඇයට ආසාත්මික බවට මීට පෙර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබූ ඇමොක්සලීන් නම් ඖෂධය ඇයට ලබා දී තිබූ බවටය.
එදිනම රාත්‍රී එම ඖෂධය ලබාගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඇය රෝහල්ගත කරන විටත් ජීවිතයෙන් සමුගෙන ඇත් බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවය.
එලෙස පැමිණිල්ලක් ලැබුණු වහාම විමර්ශනයක් ආරම්භ කරන බවද අධ්යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේය.
කෙසේවෙතත්, මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝහල් පොලිසියට මෙන්ම පේරාදෙණිය පොලිසියටද පැමිණිලි කර ඇති බව මියගිය කාන්තාවගේ ඥාතීන් පවසයි.
නන්දනී කලන්සූරිය මහත්මියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකර ඇති අතර, එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කර මියගිය කාන්තාවගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
ඊට අදාළ වාර්තා ලැබීමෙන් අනතුරුව මෙම මරණයට හේතුව ප්‍රකාශ කරන බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දී තිබේ.
